සැකකරුවන් සොයන සෝදිසි මෙහෙයුම් තවදුරටත්

මරාගෙන මැරෙන ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් සොයා අඛණ්ඩ සෝදිසි මෙහෙයුම්

by Staff writer 29-04-2019 | 12:54 PM
COLOMBO (News1st) : මඩොල්සිම, බටාවත්ත ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී හමුදා නිළ ඇඳුම්වලට සමාන රෙදි කැබලි කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ බලකාය පැවසුවේ, එහිදී ඔහු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 18 ක්, ජාතික හැඳුම්පත් 7 ක් ද සිය භාරයට ගත් බවයි. එම සෝදිසි මෙහෙයුමේදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකිවූ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මඩොල්සිම පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. විශේෂ කාර්ය බලකාය පැවසුවේ, තලවාකැලේ ශාන්ත ජනපදයේ නිවසක සිදුකල සෝදිසි මෙහෙයුමකදී කඩුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල අලුත්ගම ප්‍රදේශයේදී ද පිහියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි. මේ අතර අද අලුයම කුරුණෑගල තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේ පොලීසිය, යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය. පොලීසිය පැවසුවේ, එහිදී සැකකටයුතු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙහිදී ජංගම දුරකත 04ක්, කඩු 02ක්, ගමන් බලපත්‍ර 32ක්, පිටුපස අංක තහඩු ගලවන ලද යතුරුපැදියක් සහ කුඩා වෑන් රථ තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේ ගරාජයක් අසල තිබූ සැකකටයුතු පාර්සලයක් පිළිබඳව ප්‍රදේශවාසීන් පොලිසිය දැනුවත් කර තිබිණ. පොලීසිය පැමිණ කළ පරීක්ෂාවේදී එහි තිබි අවි ආයුධ රැසක් සෙයාගෙන තිබේ. මෙරට නිෂ්පාදිත රිවෝලවරයක්, මිලිමීටර් 9 ජීව උණ්ඩ 147ක්, එස්එෆ්ජී 87 අත්බෝම්බ එකක්, බෝර 12 පතොරම් 31 ක්, ටී 56 උණ්ඩ 18 ක්, රිවෝල්වර උණ්ඩ 10ක්, පීඊ 1509 පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් සහ විදුලි ඩෙටනේටර් 03 ක් ඇතුළු උපකරණ කිහිපයක් එහි තිබි සොයා ගැනිණ. විශේෂ කාර්ය බලකාය පැවසුවේ අදාළ අත්බෝම්බය ආරක්ෂිතව නිශ්ක්‍රීය කිරීමට කටයුතු කළ බවයි. ඊයේ පස්වරුවේ යුද හමුදාව සහ පොලීසිය එක්ව දුම්මලසූරිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය. ඒ, පාස්කු ඉරිදා ප්‍ර‍හාරයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් සහරාන් සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට පෙරේදා අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබාදුන් තොරතුරුවලට අනුවයි. මෙහිදී ප්‍රදේශයේ පිහිටි ආගමික පාසලක් සහ නිවාස කිහිපයක් සෝදිසි කෙරිණ. අදාළ පාසලේ තිබී සටන් පුහුණුව සඳහා භාවිත කරණ උපකරණ කිහිපයක්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත පොත් කිහිපයක් සහ ජංගම දුරකතන කිහිපයක් ද සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පාසල් භූමියේ ඇති පොල්ගස්වල තියුණු ආයුධවලින් පහර දී ඇති බවට වන සළකුණු දක්නට ලැබෙන බවයි. මේ අතර නිකවැරටිය නගරයේ ද ඊයේ පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ. එහිදී ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක තිබී කඩු 04 ක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් එක පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බවයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ පොලීසිය එක්ව ඊයේ වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. එහිදී සැකපිට කාන්තාවක් ඇතළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනිඅවි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ. පස්යාල කල්එළිය ප්‍රදේශයේ නිවසක් ඊයේ ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළේ ය. එහිදී සැකකටයුතු සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මේ අතර සිම් කාඩ්පත් 08ක් එකවර භාවිත කළ හැකි සන්නිවේදන උපකරණයක් ද වන බවයි. පොලීසිය පැවසුවේ, සිය භාරයට ගත් උපකරණ වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි.