පොලිස්පතිව අනිවාර්ය නිවාඩු යවයි

පොලිස්පති පූජිත් ජයසුන්දරට අනිවාර්ය නිවාඩු...

by Staff writer 29-04-2019 | 6:26 PM

COLOMBO (News 1st) - පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතායි. අනිවාර්ය නිවාඩු යැවීමට අදාළ ලිපිය අද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තහවුරු කළේ ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගෙන තිබේ. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය. මේ අතර අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා පිළිබඳව අදහස් පළ කෙරුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර,
දැන් පේනවනේ 19 ව්‍යවස්ථා සංශෝධනය ඇති කරලා තියන විනාශය රටට. ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ බලය සම්පූර්ණයෙන් කප්පාදු කරලා වැරැද්දක් කරපු පොලිස්පතිවරයෙක් ඉවත් කරන්න බැරි තැනට මෙතුමාගේ බලය පත් කරලා තියෙන්නේ. අපි කියන්නේ වෙනත් කාරණාවලට පෙරාතුව එතුමාට ඉල්ලා අස්වෙන්න කියලා තියනවනම් ඉල්ලා අස් වෙන්න ඕනේ. අනිවාර්ය නිවාඩු යැවීම සහ නැත්නම් සේවයෙන් ඉවත් කිරීමට අදාළ අමාත්‍යවරයාට ඒ අමාත්‍යංශ ලේකම් හරහා කරන්න පුළුවන් කාර්ය භාරයක් තියනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, නිමල් සිරිපාල සිල්වා,
පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඉවත් කිරීම පිළිබඳව විශේෂ පනතක් තියනවා. ඒ පනත අනුව එහෙම ක්‍රියා කරන්නත් පුළුවන් එහෙම නැතුව වඩාත්ම යෝග්‍ය වන්නේ පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්වුණා වගේ, ඉල්ලා අස්වෙලා මේ ක්‍රියාවලියට සහයෝගය දෙන එක. එසේ අස් වෙන්නේ නැත්නම් ඒක රටේ ජාතික ආරක්ෂාව ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් ප්‍ර‍ශ්නයක් වෙනවා.
මේ අතර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පවසන්නේ, ඉරිදා ප්‍රහාරය පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු අතැතිව සිටිමින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා එය සිදුවීමට ඉඩ හැර නොසැලකිලිමත් ලෙස රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන 6 කට පැමිණිලි කර ඇති බවයි. පොලිස් සහන මැදිරිය, කොටහේන, කොල්ලුපිටිය, කොටුව, කටාන සහ මඩකලපුව පොලිස් ස්ථානවලට මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල කර තිබේ. විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම පැමිණිලි මත නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.