by Staff writer 27-04-2019 | 8:08 PM
COLOMBO (News 1st) - සැක සහිත වාහන ලෙස මීට පෙර පොලීසිය නම් කළ වාහන අතරින් වාහන 4ක් මේ වන විට පොලීසිය සොයා ගෙන තිබේ.
දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත දෙහිවල සරණංකර පාරේ පිහිටි නිවසක් ඊයේ පස්වරුවේ පරීක්ෂාවකට ලක් කළේ ය.
එහිදී සැක කටයුතු යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
US -3740 දරණ ස්කූටි වර්ගයේ මෙම යතුරු පැදිය සැක සහිත වාහනයක් ලෙස මීට පෙර පොලීසිය නම් කර තිබූ යතුරු පැදි අතරින් එකකි.
පොලීසිය පැවසුවේ, ෂැංග්රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය එක් තැනැත්තෙකුගේ නමින් මෙම යතුරු පැදිය ලියාපදිංචි කර ඇති බව ය.
යතුරු පැදියේ වත්මන් හිමිකරු බව කියන පුද්ගලයා ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පසුගිය 25 වන දා වත්තල නායක්කන්ද ප්රදේශයේ නිවසක තිබී සැක සහිත ලොරි රථයක් පොලිස් භාරයට ගැනිණි.
WP-DAE 4197 දරණ එම ලොරිය සැක සහිත වාහනයක් ලෙස මීට පෙර පොලීසිය නම් කර තිබූ ලොරි රථයයි.
පොලීසිය පැවසුවේ, ෂැංග්රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය එක් තැනැත්තෙකුගේ නමින් මෙම ලොරිය ද ලියාපදිංචි කර ඇති බව ය.
පසුගිය 24 වන දා වරකාපොළ අගුරුවැල්ල ප්රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වෑන් රථයක් හා යතුරු පැදියක් පොලීසිය සොයා ගත්තේ ය.
පොලිස් භාරයට ගැනුණු ඒම වෑන් රථය සහ යතුරු පැදිය මීට පෙර සැක සහිත වාහන ලෙස පොලීසිය දැනුවත් කළ වාහනවලින් 2ක් බවට මේ වන විට අනාවරණය වී තිබේ.
ඒ අනුව සැක සහිත යැයි නම් කළ වාහන අතරින් මේ වන විට වාහන 4ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
DAE - 4197 දරණ ලොරිය, PH - 3779 දරණ වෑන් රථය, 144 - 2644 දරණ යතුරු පැදිය හා US - 3740 දරණ ස්කූටි වර්ගයේ යතුරු පැදිය මේ වන විට සොයා ගෙන ඇති අතර BYC - 2183, VC - 7783, VC - 4843 හා BMD - 0596 අංක දරණ යතුරු පැදි මෙතෙක් සොයා ගෙන නොමැත.