ධීවරයින්ට නාවුක කටයුතුවලින් වළකින්නැයි උපදෙස්...!

නැවත දැනුම් දෙන තුරු ධීවරයින්ට නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි උපදෙස්

by Staff writer 27-04-2019 | 11:13 AM

COLOMBO (News 1st) - හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදේ උතුරු කොටසේ සිටින්නේ නම් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසයි. මේ අතර අද සිට පැයට කිලෝමීටර් 85 දක්වා ප්‍රහාරාත්මක සුළං අපේක්ෂා කළ හැකි වේ. ඉදිරි දිනවල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 100 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවි හැකිය. දිවයිනට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එය අප්‍රේල් 30 වැනි දා වනවිට උතුරු තමිල්නාඩු වෙරළට ගමන් කරනු ඇතැයි ද කාලගුණ බලධාරීන් පුරෝකතනය කරති.