සයින්දමර්දු ගම්මානයේ අදත් දවස පුරා සෝදිසි මෙහෙයුම්: ඊයේ රාත්‍රියේ ඇති වූ පිපිරීම් හා වෙඩි හුවමාරුවෙන් 16ක් මරුට

by Staff writer 27-04-2019 | 8:50 AM

COLOMBO (News 1st) - ඊයේ රාත්‍රියේ පිපිරීම් හා වෙඩි හුවමාරු වීම් සිදු වූ කල්මුණේ සායින්දමර්දු ගම්මානයේ අද දිනය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය.

යුද හමුදාව, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද උදෑසන සිට දවස පුරා සයින්දමර්දු, වොලිවෝරියන් සුනාමි ගම්මානයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේ ය. මෙම මෙහෙයුම දියත් කෙරුණේ, ගම්වාසීන් සියලු දෙනා සයින්දමර්දු එම්.එම්. කාරියප්පර් විද්‍යාල ක්‍රීඩාංගණය වෙත රැස් කිරීමෙන් අනතුරුව ය. ඊයේ සවස 6.00ට පමණ විශේෂ මෙහෙයුමක් සඳහා ප්‍රදේශයට යුද හමුදා භට පිරිසක් පැමිණෙන්නේ, නැගෙනහිර ආරක්ෂක ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි ය. එහිදී හිමිකරුවෙකු නොමැති අතහැර දමා තිබුණු වෑන් රථයක් සහ සැක කටයුතු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ භාරයට පත් විය. අනතුරුව එම කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතා සූක්ෂම ලෙස කල්මුණේ, සයින්දමර්දු, වොලිවෝරියන් සුනාමි ගම්මානයට පැමිණෙන්නේ අදාළ මෙහෙයුමේ දිගුවක් ලෙස ය. එහිදී යුද හමුදා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. පසුව යුද හමුදාව ද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ප්‍රහාරකයා හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය. මෙහිදී මරාගෙන මැරනෙ බෝම්බකරුවන් විසින් නිවසක් තුළදී බෝම්බ පුපුරුවාගෙන තිබේ. අද අලුයම අදාළ නිවස තුළ කළ සෝදිසි කිරීම්වලදී පිරිමි මළ සිරුරු 03ක්, කාන්තා මළ සිරුරු 03ක් හා කුඩා දරුවන්ගේ සිරුරු 06ක් සොයා ගැනිණි. ඒ අනුව අදාළ පුපුරුවා ගැනීම් හා වෙඩි තැබිම්වලින් මිය ගිය මුළු ගණන 15කි. නිවස තුළ තුවාල ලබා සිටි කාන්තාවක හා කුඩා දරුවෙකු යුද හමුදා භට පිරිස් විසින් අද උදෑසන සොයා ගත් අතර ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේ ය. මෙම වෙඩි හුවමාරුව සිදු වන අතර අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයකට ආරක්ෂක අංශ වෙඩි තබා ඇති අතර, එහි සිටි කාන්තාවක මිය ගොස් ඇයගේ ස්වාමි පුර්ෂයා තුවාල ලබා තිබේ. පිපිරීම් හා වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ පැවැත්වූ අතර රජයේ රස පරීක්ෂක නිලධාරීන් ද එම ස්ථානයට කැඳවා තිබිණි. අදාළ සැක කටයුතු නිවස තුළ සිදු වූ පිපිරීම්වලින් හා ආරක්ෂක අංශ සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් මිය ගිය 15 දෙනා අතරින් 06 දෙනෙකු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම සමග සබඳතා පවත්වා ඇතැයි සැක කෙරේ. ආරක්ෂක අංශ වෙත අදාළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දී තිබෙන්නේ ගම්වාසීන් විසින්ම වීම විශේෂත්වයකි.