පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 6

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 6 වන දා

by Staff writer 26-04-2019 | 8:40 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදයට නැවත සංවිධානය වීමට කිසිදු ඉඩක් නොතබා මෙම ත්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමෙන් ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව සහ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිතුමා එම උපදෙස් ලබාදී තිබෙන්නේ, ජාතික ආරක්ෂක මණ්ඩලය අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. මේ අතර පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 6 වන සඳුදා තෙක් කල් තැබීමට තීරණය කළ බව ද එම නිවේදනයේ දැක්වේ. විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. රාජ්‍ය ආයතන හා ප්‍රධානපෙළේ සංචාරක හෝටල් සඳහා මෙන්ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙලක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.