අපි වෙනුවෙන් නැගී සිටි ඔබට ස්තුතියි!

by Chathuranga Rajapaksha 26-04-2019 | 12:56 PM
COLOMBO (News 1st) – පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවෙන් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් ලෝකයේ රටවල් සිය ශෝකය අපවෙත පල කරනු ලැබිණි. අප රට කෙරෙහි ඇති මිත්‍රත්වය, සහයෝගීතාවය සහ සංහිඳියාව පෙන්නුම් කරමින් ඔවුන් අපවෙත ශෝක පල කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කරනු ලැබිණි. ඒ, අනුව ඩුබායි හී පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා සිංහ ධජයෙන් ඊයේ වර්ණවත් විය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩිම පිරිසක් සේවය කරන රට ලෙස ඩුබායි හැඳින්විය හැකි ඇති අතර ඔවුන් මෙලෙස ශෝකය ප්‍රකාශ කිරීම ලෝකයේම අවධානයට පාත්‍ර විය. මීට අමතරව පසුගිය දින කිහිපය පුරාම ලෝකවාසී ප්‍රජාව ශ්‍රී ලංකාවේ සිදුවූ මෙම බෝම්බ ප්‍රහාර පිළිබඳව සිය ශෝකය පල කළේය. ඒ අනුව, පසුගිය 24වනදා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් මධ්‍යම ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකාවේ ධජයෙන් වර්ණවත් විය. පසුගිය 22 වනදා ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන්හි පිහිටි ස්ටොරි බ්‍රිජ් ලෙස හඳුන්වන පාලම, වික්ටෝරියා පාලම සහ නගර ශාලාව ශ්‍රී ලංකා ධජයේ වර්ණයන් විදුලි ආලෝක මගින් දර්ශනය විය. මේ අතර පසුගිය 22 වනදා රාත්‍රියේ ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පල කරමින් නිවා දැමුණි. ඉන්දියාවේ වැලි මූර්ති කලාකරුවෙකුවන සුදර්ශන් පත්නයික් මහතා විසින් මෙරට බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ට ශෝකය පල කරමින් මුහුදු වෙරළේදී වැලිවලින් නිර්මාණයක් කරනු ලැබිණි. "We Condemn Horrific attack" (මෙම දරුණු ප්‍රහාරය අපි හෙළා දකිමු) ලෙස එහි සඳහන් කර තිබුණි. කැනඩාවේ, ටොරොන්ටෝ චතුරශ්‍රයේ විදුලි බුබුළුවල ආලෝකය අඩු කරමින් ඔවුන් ශ්‍රී ලංකාවේ මියගිය අය වෙනුවෙන් ශෝකය පල කර තිබුණි. ඊශ්‍රායලයේ, ටෙල් අවිව් මහ නගර ශාලා ගොඩනැගිල්ල ද ශ්‍රී ලංකා ධජයෙන් වර්ණවත් වූයේ මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ශෝකය පල කරමිනි. මැලේසියාවද පහන් දල්වමින් ශ්‍රී ලංකාවට සිය ශෝකය පල කළේය. රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පාපන්දු තරගයක් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ මියගිය අය වෙනුවෙන් ඔවුන් විනාඩියක නිශ්ෂබ්දතාවක් පැවැත්විය.