"අපි එකට නැගිට ත්‍රස්තවාදය අවසන් කරන්න කැප වෙනවා" - අසාද් සාලි

by Hashini De Mel 26-04-2019 | 10:43 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මාවනැල්ල බුදුපිළිමවලට හානි කළ බවට සැක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මුදා හැරීම පිළිබඳව තමන්ට එරෙහිව විවිධ පාර්ශව කරන චෝදනා ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රතික්ෂේප කළේ ය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් නිකුත් කර තිබූ මෙම ලිපියෙන් කියැවෙන්නේ, විධිමත් පරීක්ෂණයකින් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව අධිකරණය අදාළ සැකකරුවන් මුදාහැර ඇති බවයි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි,
ගරු අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් සහ විමල් වීරවංශ විසින් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධ පැමිණිල්ල 2019 අප්‍රේල් 23 දිනය දරණ ඉහත කරුණට අදාළ ලිපිය අනුව මගේ උපදෙස් පරිදි අප්‍රේල් 24 වන දා සී.අයි.ඩීය නෆීඩ් සහ එම්.එන්.එම් නවීඩ් නම් වූ සැකකරුවන් දෙදෙනා ගැන සී.අයි.ඩීය මගින් කරුණු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කළා. එහි අඩංගු කරුණු අනුව මෙම පුද්ගලයින් දෙදෙනා 2019 අප්‍රේල් 9 වන දා මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිදහස් කළ බව මම තහවුරු කරනවා. මේ නිදහස් කිරීමට කිසිදු පාර්ශවයක අනිසි බලපෑමක් කර නොමැති බව ද මම තහවුරු කරනවා. දෙවනි එක පුත්තලමේ නිදහස් වෙලා ඉන්නවා දෙන්නෙක් ඒ දෙන්නා දවස් අනූවකට පස්සෙ මේ ලියුමේ හැටියට දවස් අනූවක් හිර බාරයේ ඉදලා තියනවා. ඒගොල්ලන්ව උසාවියෙන් නිදහස් කරලා තියනවා. කිසිම කෙනෙක්ගේ මේකට මැදිහත්වීමක් නෑ කියලා ආරක්ෂක අමාත්‍යංශයේ ලියුමක් දෙනවා. අපි කියන්නේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්න එපා. 2005 ඉඳලා මේ හොර කල්ලිය ගැන අපි කියනවා. අපි දිගින් දිගටම ෆොටෝ දීලා තියනවා. වීඩියෝස් දීලා තියනවා උන්ගේ ඔක්කොම කරන කැත වැඩ අපි දීලා තියනවා.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික රැස්වීමේදී ද අදහස් පළ කළේ ය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි,
බෝම්බයක් ගිය පලියට ජනාධිපතිවරයා අයින් වෙන්නයි ආණ්ඩුවක් අයින් වෙන්නයි ඕනේ කියන එක මං හිතන්නේ නෑ සුදුසුයි කියලා. එහෙනම් මේ රටේ ගිය හැම බෝම්බෙටම හැම ජනාධිපතිවරයාම ඉල්ලා අස් වෙලා තියෙන්න ඕනේ. හැම අගමැතිතුමා ම ඉල්ලා අස් වෙලා තියෙන්න ඕනේ. එහෙම නෙමෙයි. මේක දේශපාලනයක් කරගන්න ඕනේ නෑ. මේ වගේ විනාසයක් එන්න දුන්නේ සියලුම ආණ්ඩු වගකියන්න ඕනේ. ජාතියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන අපි ජාතියම එකට නැගිට සම්පූර්ණයෙන් ත්‍රස්තවාදය අවසන් කරන්න කැප වෙනවා. මේ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරනවා නෙමෙයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා ඔබතුමා ප්‍රකාශයක් කෙරුවා. අර පුත්තලමේ මාවනැල්ලේ බුදුපිළිම කඩලා බුදුපිළිමේ කඩලා දෙන්නෙක් දැන් නැති වෙලා ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් බෝම්බකරුවෙක් කියලා ප්‍රකාශ කරා මාධ්‍ය හමුවේදී. ඒකට අතිගරු ජනාධිපතිතුමායි, මුස්ලිම් ලොකු එක්කෙනෙකුයි එකතු වෙලා එයාව නිදහස් කෙරුවා කියලා බොරු චෝදනා මාධ්‍යට කියන්න එපා. ඒ වගේම තමයි තවත් පක්ෂෙක නායකයෙක් මීඩියාවලට ඇවිත් කියනවා එහෙ බලපෑම් කරනවා මෙහේ බලපෑම් කරනවා, මේගොල්ලොන්ව අයින් කරන්න කිසිම කෙනෙක් එහෙම කතා කරලා නෑ, කතා කෙරුවානම් අපිට නම් කරන්න. ජනාධිපතිතුමා ඔබතුමා ආරක්ෂක නායකයා හැටියට අපිව අත්අඩංගුවට ගන්න. අපි වැරදි කරලා තියනවා නම් අත්අඩංගුවට ගන්න. කොයි නායකයා උනත් කමක් නෑ කවුරුහරි ත්‍රස්තවාදියෙක්ව ඉවත් කරන්න ඉදිරිපත් වෙලා තියනවානම් අපිව අත්අඩංගුවට ගන්න අපි බය නෑ අපි කියන්නේ ඇත්ත.