වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ වැටෙයි

වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි

by Staff writer 25-04-2019 | 1:41 PM
COLOMBO (News 1st) - මීටර් 400 කාන්තා සහය ධාවන ඉසව්වේ වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටිණි. කෙසේ නමුත් එම ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව් වැනි ස්ථානයයි. 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සිව් වැනි දිනටත් දෝහා කලීෆා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විණි. එහි මීටර 400 සහය කාන්තා ධාවන ඉසව්වේ පළමු ස්ථානය බහරේනයට හිමි වූ අතර ශ්‍රී ලංකාව සිව් වැනි ස්ථානයට පත් වූයේ මිනිත්තු 3යි තත්පර 35.06ක කාලයක් සටහන් කරමිනි. ඒ අනුව 1999 වසරේදී නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දමයන්ති දර්ශා ප්‍රමුඛ කණ්ඩායම මිනිත්තු 3යි තත්පර 35.42ක කාලයක් සටහන් කරමින් පිහිටුවා තිබූ මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටිණි. ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ නදීශා රාමනායක, දිල්ෂි කුමාරසිංහ, උපමාලිකා රත්නකුමාරි සහ නිමාලි ලියනාරච්චි. මේ අතර දුර පැනීම පිරිමි ඉසව්වට එක් වූ ධනුෂ්ක සඳරුවන් 7 වැනි ස්ථානයට පත් වූ අතර ජනක විමලසිරි 8 වැනි ස්ථනයට පත් විය.