පොලිස් විශේෂ මෙහෙයුම්වලින් 16ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 16ක් අත්අඩංගුවට

by Staff writer 25-04-2019 | 9:55 AM
COLOMBO (News 1st) - ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ අතර ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු ද වන බව ය. ෆේස්බුක් ඔස්සේ කළ විමර්ශනයකට අනුව පානදුර උතුර ප්‍රදේශයේදී බණ්ඩාරගම පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකි. මේ අතර තිරප්පනේ පොලිස් වසමේ ක්‍රියාත්මක මෙහෙයුමකින් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔවුන් සන්තකයේ තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ ගිනිඅවි 2ක් පොලිස් භාරයට ගැනිණි. වත්තල ක්‍රියාත්මක මෙහෙයුමකදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ වෝකි ටෝකි 2ක් ද සමග ය. ඊට අමතරව රක්වානේදී සැකකරුවන් 3 දෙනෙකු, වව්නතිව් සහ මීගලෑවේදී සැකකරුවන් දෙදෙනෙකු බැගින් අත්අඩංගුවට ගෙන තිබේ. තෙල්දෙණිය, බලංගොඩ සහ මාතලේ ප්‍රදේශවලදී සැකකරුවෙකු බැගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.