තිස්ස අත්තනායක කනගාටුව පළ කරමින් සමාව ඉල්ලයි

එජාප හිටපු මහලේකම්වරයා නඩුවෙන් නිදහස්

by Staff writer 24-04-2019 | 8:42 PM
COLOMBO (News 1st) : කූඨ ලේඛන සැකසීමට එරෙහිව පවරා තිබූ නඩුවෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද නිදහස් කෙරිණ. ඒ, කොළඹ මහාධිකරණය හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි. මෙම ලේඛනය ප්‍රසිද්ධ කිරීම තුළින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් යම්කිසි හානියක් හා සිත්තැවුලක් සිදුව ඇත්නම් ඊට කනගාටුව ප්‍රකාශ කර සමාව ඉල්ලා සිටින බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ ය. ඉදිරියේදී එවැනි ලේඛන පිළිබඳ විශ්වාසය තබා කටයුතු නොකරන බව තිස්ස අත්තනායක මහතා කියා සිටියේ ය. අගතියට පත් පර්ශ්වයට කනගාටුව පළ කර සමාව අයැද සිටින්නේ, නම් නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නීතිපතිවරයා බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ය. දේශපාලන නායකයින් ප්‍රසිද්ධියේ සිදුකරනු ලබන ප්‍රකාශ ඉතා වගකිමකින් යුතුව, කළ යුතු බව ත් නැතහොත් රටට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ ය. ඒ අනුව තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබු චෝදනා තුනෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.