අනන්‍යතාව හෙළි නොවූ මළ සිරුරු 41ක් තවමත් රෝහල්වල

බෝම්බ පිපිරීම්වලින් අතුරුදන්වූවන් ගැන තොරතුරු ලබා දෙන්නැයි, දැනුම්දීමක්

by Sagarika Chathumali 23-04-2019 | 8:11 AM
COLOMBO (News 1st) : බෝම්බ පිපිරීම හේතුවෙන් මෙතෙක් තොරතුරු සොයා ගැනීමට නොහැකි වූවන් පිළිබඳව ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම් දෙයි. ඒ සම්බන්ධව තොරතුරු කොළඹ 10, ප‍්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙස ද අධීකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. ඒ සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී සිටී. මේ අතර බෝම්බ පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට මළ සිරුරු 102 ක් ලැබී තිබූ බවයි. මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු, අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන් 06 ක් යටතේ පශ්චාත් මරණ පරික්ෂණ සිදු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මීගමුව දිස්ත්‍රීක් මහ රෝහලට ලැබී තිබූ මළසිරුරු 102 න් පශ්චාත් මරණ පරික්ෂණ සිදු කරන ලද මළ සිරුරු 92 ක් ඥාතීන්ට භාර දී ඇති බවයි. තවත් මළසිරුරු 10 ක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මළ සිරුරු තැන්පත් කර තැබීම සදහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත ජංගම ශීතාගාර දෙකක් එම රෝහල වෙත ලබාදුන් බවයි. කොළඹ ජාතික රෝහලලේ මළ සිරුරු 140 ක් ඇති අතර, මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ මළ සිරුරු සංඛ්‍යාව 89 කි. මළ සිරුරු 35 ක් හඳුනා ගැනීම සඳහා මෙතෙක් කිසිවෙකු නොපැණීම ගැටලුවක්වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. කොළඹ උතුර ශික්ෂණ රෝහලේ ද මළ සිරුරු 06 ක් හදුනා ගැනීම සඳහා මෙතෙක් කිසිවෙකුත් පැමිණ නොමැත. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, කොළඹ ජාතික රෝහලේ විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු 20 ක් ඇති අතර, එම මළ සිරුරු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි. තුවාල ලැබූ විදේශකයින් 22 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ. මඩකළපුව ශික්ෂණ රෝහලට මළ සිරුරු 29 ක් ලැබී තිබූ අතර, ඉන් 23 ක් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඥාතීන්ට අද දින භාරදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් මේ වනවිට පුද්ගලයින් 290 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ රෝගීන් 480 ක් කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ උතුර හා දකුණ මහ රෝහල් සහ මඩකළපුව මහ රෝහලේ ප්‍රතිකාර ලබති. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, සාමාන්‍ය තුවාල ලැබූ රෝගීන් ප්‍රතිකාර ලබා නිවෙස් කරා පිටව ගොස් ඇති අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 29 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම කඩිනමින් සිදු කරන බවත්, අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ප්‍රමාණවත් තරම් ලබා දී ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.