by Staff writer 23-04-2019 | 8:32 PM
COLOMBO (News 1st) - පසුගිය ඉරිදා (අප්‍රේල් 21 ව දා) මෙරට සිදු වූ පිපුරුම් මාලාවේ දෝංකාරය සමස්ත ලාංකේය සමාජ දේහය පුරා තවමත් නින්නාද වෙමින් පවතී. එයින් සිදු වූ ජීවිත හානි හා තුවාල ලැබූවන්ගේ ඛේදවාචකය ගැන දැනටමත් බොහෝ දේ ලියැවී ඇත.
මෙම ම්ලේච්ඡ ප්‍රහාර මාලාව තව්හිත් ජමාත් නම් අන්තවාදී මුස්ලිම් සංවිධානය මගින් සිදු කළ බව ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. එය ජාත්‍යන්තර සංවිධානයක් වන JMI සමග ද සබඳතා පවත්වන බව අමාත්‍ය විජේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙවැනි සංවිධාන පසුගිය 21 වන දා මෙරටදී සිදු කළ මට්ටමේ ප්‍රාහාර ලොව නොයෙක් කලාපවල විවිධ රටවලදී නිරතුරුව සිදු කරමින් සිටියි.
එම ම්ලේච්ඡ, ආගම්වාදී, අන්තවාදී සංවිධානවල අරමුණු මොනවා ද? මිනිස් ජීවිත බිලි ගැනීම ද? දේපළ හානි කිරීම ද? හැඟීම්වලට යට වී අවේගබහුලව කටයුතු කිරීම මදකට නවතා ඒ ගැන අපේ අවධානය යොමු කළ යුතුව ඇත.
එය මේ මොහොතේ සබුද්ධික ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛ වගකීමකි.
ප්‍රහාරයෙන් පසු ලාංකේය සමාජය තුළ "පොදු මුස්ලිම් ප්‍රජාව" දෙස සැකයෙන් බැලීමේ ප්‍රවණතාවක් මතු වී තිබේ. මේ, මෙතෙක් අප සමග සුහදව සිටි අපේ අසල්වැසියාය, කාර්යාලයීය සගයාය, පාසල් මිතුරාය ආදී ලෙස නොව "මේ මුස්ලිම් ජාතිකයෙක් ය" යැයි අලුත් ප්‍රවේශයක් ලබා ගන්නට අප පොළඹවා තිබේ.
එවන් හැඟීම් මතු වීම අරුමයක් නොවේ. එහෙත්, එය අප සමාජයේම ඓන්ද්‍රීය කොටසක් වන මුස්ලිම් ප්‍රජාව කොන් කිරීම දක්වා වර්ධනය වීමට ඉඩ දිය යුතු ද? එවැන්නක ප්‍රතිඵලය කවරාකාර ද?
පිළිතුර සරලය. එවිට සිදු වන්නේ පොදු සමාජයේ නිදහස්ව ගනුදෙනු කිරීමට නොහැකි වන මුස්ලිම් ප්‍රජාව තම සමාජ තීරුවෙහි කොටු වීමය. එහි හිරකරුවන් බවට පත් වීමය. එයින්ම කළකිරීමය.
තව්හිත් ජමාත්ලාගේ ඉලක්කය එයයි. කොන්වන, කළකිරෙන පිරිස තම නොහොඹිනා කටයුතුවලට දිනා ගැනීම ඔවුනට කිරිකජුය.
අප්‍රේල් 21 මට්ටමේ හෝ ඊටත් ඉහළ මට්ටමේ මරාගෙන මැරනෙ ප්‍රහාර වැළක් සිදු කිරීම සඳහා අවශ්‍ය පසුබිම එයින් සැකසෙනු ඇත.
සමාජයක් ලෙස අප මේ තත්ත්වය තේරුම්ගත යුතුව තිබේ.
ඒ අවබෝධය තුළ සබුද්ධිකව කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයාගේ පොදු වගකීමකි. ඒ වගකීම ඉටු කිරීමට අපොහොසත් වෙතොත් අප දින වන්නේ අන්තවාදයයි. එහි ප්‍රතිඵල අපට අලුත් නැත. අවුරුදු 30කට වැඩි කාලයක් අපි එහි ප්‍රතිඵල අත්විඳ ඇත්තෙමු.
රටක් ලෙස, අපි දවලුත් වළේ වැටිය යුතු නැත.