ඩෙන්මාර්ක ධන කුවේරයාගේ දරු තිදෙනාත් මියයයි

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරු තිදෙනාත් කොළඹ ප්‍රහාරවලින් මරුට

by Staff writer 23-04-2019 | 10:10 AM
COLOMBO (News 1st) : ඉකුත් ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ඩෙන්මාර්කයේ ධනවත්ම මිනිසා වන ඇන්ඩර්ස් පෝල්සන්ගේ දරුවන් සිව් දෙනාගෙන් තිදෙනෙකු ම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඩෙන්මාර්ක මාධ්‍ය සඳහන් කළේ, පෝල්සන් , ඔහුගේ බිරිඳ ඈන් ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි. අල්මා , ඇස්ට්‍රිඩ් , ඇග්නස් සහ ඇල්ෆ්‍රඩ් යන ඔවුන්ගේ දරුවන් සිව් දෙනාගෙන් දිවිබේරාගෙන ඇති දරුවා කවුරුන්දැයි, යන්න මෙතෙක් හෙළිවී නොමැත. ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන් බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම පෞද්ගලික ඉඩම් හිමියා වන අතර ඔහුට ස්කොට්ලන්තයේ 1% වඩා වැඩි භූමි ප්‍රදේශයක් අයත් බව ද සඳහන් වේ. ෆෝබ්ස් සඟරාවට අනුව ඇන්ඩර්ස් පෝල්සන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 7.9 කි. අනාගත පරපුර වෙනුවෙන් තමාට අයත් භූමි ප්‍රදේශ යළි වනගත ප්‍රදේශ බවට පත්කිරීමේ වසර 200 ක සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ සුදානමින් පෝල්සන් යුවල පසුවී ඇති අතර තමාගෙන් පසු සිය දරුවන් එම ව්‍යාපෘතිය පවත්වාගෙන යනු ඇතැයි ඔවුන් මීට පෙර පවසා තිබිණ.