ජනපති රාජතාන්ත්‍රිකයින් කැඳවයි

ත්‍රස්තවාදය මැඩලීමට පූර්ණ සහය ලබා දෙන බව රාජතාන්ත්‍රිකයින් සහතික වෙයි

by Staff writer 23-04-2019 | 8:38 PM
COLOMBO (News 1st) - රට තුළ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට ජනාධිපතිතුමාට පූර්ණ සහය ලබා දෙන බවට විදෙස් තානාපතිවරුන් සහතික වී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හා ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කළ බව ය. එම හමුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා හදිසි තත්ත්වය මැඩපැවැත්වීමට ගත් පියවර පැහැදිලි කර තිබේ. මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකළ එකක් බවත් ප්‍රහාරය එල්ල වූ වහා අදාළ පිරිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවත් තානාපතිවරුන් හමුවේ ජනාධිපතිතුමා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. විමර්ශන කටයුතු විධිමත්ව ඉදිරියට ක්‍රියාත්මක බව පැවසූ ජනාධිපතිතුමා ඊයේ නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයෙන් ආරක්ෂක හමුදාවලට සෘජුවම ත්‍රස්ත මර්දන බලතල හිමි වන බව ද පවසා තිබේ. විමර්ශන කටයුතුවලදී වසර 30ක යුද්ධයේ අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තරයේ සියලු දෙනාගේ සහය ද උපයෝගී කොට ගෙන ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කර තිබේ. විමර්ශන හා ත්‍රස්තවාදය මැඩලීමේ කටයුතුවලදී තාක්ෂණික දැනුම සහිත රටවල 8ක් සහය දීමට කැමැත්ත පළ කර ඇති බව ද මෙම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.‍ හදිසි නීතිය සිවිල් වැසියාට එරෙහිව භාවිත නොකරන බවට තමා සහතික වන බව පැවසූ ජනාධිපතිතුමා සමාජ මාධ්‍ය ජාල තහනම නුදුරේදීම ඉවත් කරන බවට ද සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.