ෂැංග්‍රිලා හෝටලයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ පුද්ගලයා හඳුනා ගනී

by Staff writer 22-04-2019 | 10:32 PM

COLOMBO (News 1st) - කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයා ඉන්සාන් සීලවන් ලෙස හඳුනාගෙන තිබේ.

අද වැල්ලම්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේ ය. පොලීසිය අද අධිකරණයට වාර්තා කළේ, මෙම පුද්ගලයාට අයත්බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවක් ආරක්ෂක අංශ විසින් වටලා ඇති බවයි. එහිදී සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා හමුවට ඉදිරිපත් කළහ. සැකකරුවන් ලබන මස 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම බෝම්බ ප්‍රහාරවලට සැකකරුවන්ගේ ඇති සම්බන්ධතාවය කුමක් ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. මේ අතර අද අධිකරණයේදී අනාවරණ වූයේ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මෙම ඉන්සාන් සීලවන් නමැත්තාගේ බිරිඳ සහ සහෝදරයා ඊයේ දෙමටගොඩ නිවෙසක් තුළ සිදු කළ බෝම්බ පිපිරීමෙන් මිය ගිය බවයි. සැකකරුවන් පිරිසක් සැඟවී සිටි දෙමටගොඩ නිවසක් ඊයේ ආරක්ෂක අංශ විසින් වැටලූ අවස්ථාවේ කාන්තාවක් දරුවන් දෙදෙනෙකු සමග බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් විය. පසුව ආරක්ෂ අංශ විසින් තව ත් සැකකරුවෙකු එම නිවස තුළදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඔහු ද බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මිය ගිය බව ජීවිතක්ෂයට පත් වූ බව ආරක්ෂ අංශ ප්‍රකාශ කර තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ජිවිත්ක්ෂයට පත් විණි. අදාළ නිවසේ සිටි මිය ගිය පුද්ගලයාගේ පියා බව කියන පුද්ගලයෙක් හා තව ත් තරුණයකු සමග කාන්තාවන් පිරිසක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවස ආසන්නයේ තිබී නවීන පන්නයේ සුඛෝපභෝගී මොටර් රථයක් සොයා ගත් අතර එම රථය තුළ තිබී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ වතුර බෝතලයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් ‍සොයා ගැනුණි. අද මෙම නිවස හා ආදාළ මෝටර් රථය පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටි අවස්ථාවේ ජංගම දුරතනයකින් පොලිස් විමර්ශන පටිගත කරමින් සිටි පුද්ගලයකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පිටකොටුව, බැස්ටියන් මාවතේ සිදු කළ මෙහෙයුමකදී ඩෙටනේටර් 87 ක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී ඩෙටනේටර් 12 ක් සහ එම ප්‍රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයක තිබී තව ත් ඩෙටනේටර් 75 ක් සොයා ගත් බවයි. මේ අතර අද කඳාන උතුරු බටගම ප්‍රදේශයේ නිවසක් පොලීසිය පරීක්ෂාවට ලක් කළේ ය. ගල්කිස්ස ටෙම්ලස් පාරේ මහල් නිවාසක් ද ආරක්ෂ අංශ විසින් සෝදිසි කර තිබේ. ඊයේ උදෑසන කොළඹ කින්ස්බරි හෝටලේ සිදුවූ පිපිරීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී තව ත් පුද්ගලයකු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔහු සිරියානු ජාතියෙකි. මේ අතර ඊයේ දෙහිවල සත්වෝද්‍යානය අසළ ලැගුම් හලක සිදුවූ පිරීමෙන් අනතුරුව පුද්ගයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගත්තේ ය. ඊයේ රාත්‍රී පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළේ පිපිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් සැඟව සිටි බවට ලද තොරතුරු මතයි. අදාළ නිවස මාස 03 ක කුලී පදනම මත ලබා ගෙන තිබූ බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය. පුපුරණ ද්‍රව්‍ය සකස් කිරීමට යොදා ගන්නා යකඩ බෝල සහ බැටරි මෙහිදී සොයාගත් බව අප වාර්තාකරු සඳහන් කළේ ය. අදාළ නිවසේ හිමිකරුගෙන් පොලීසිය ඊයේ කරුණු විමසා තිබුණි. මේ අතර අදාළ ප්‍රහාර සඳහා ඝාතකයින් පැමිණි බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත, රාමක්‍රිෂ්ණන් පාරේ තිබි පොලීසිය ඊයේ පස්වරුවේ සොයා ගත්තේ ය. අත්තිඩිය, පැපිලියාන ප්‍රදේශයේ ඖෂධ අළෙවිසැලක් ආසන්නයේ අයිතිකරුවෙකු නොමැති යතුරු පැදියක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබුණි. මේ අතර ඊයේ සිදුවූ පිපිරීම්වලට අදාළව තව ත් සැකකරුවන් දෙදෙනෙකු දඹුල්ල නගරයේ ලැගුම් හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.