ජනපති මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැ දකී

රට තුළ යළි ම්ලේච්ඡ ක්‍රියාවන්ට ඉඩක් නොමැති බවට ජනපති අගරදගුරු හිමිපාණන් හමුවේදී සහතික වෙයි

by Staff writer 22-04-2019 | 7:10 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දකී.

ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි. ජනාධිපතිතුමා මෙහිදී පවසා ඇත්තේ, ඉදිරියේදී රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදුවූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ ජනාධිපතිතුමා අගරදගුරු හිමිපාණන්ට බලවත් කනාගාටුව හා සංවේගය පළ කර තිබේ. අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ද ආරක්ෂක අංශ වෙත ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.