23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාව අද ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ

by Staff writer 21-04-2019 | 8:01 AM

COLOMBO (News 1st) - 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දෝහා කටාර්හී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශූරතාවලිය අද සිට දින 4 ක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 15 කි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු අද තරග බිමට පිවිසෙනු ඇත. මීටර් 800 කාන්තා මූලික වටයේ තරග ඉසව්ව සඳහා ගයන්තිකා අබේරත්න සහ නිමාලි ලියනාරච්චි එක්වීමට නියමිත අතර රුසිරු චතුරංග මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වේ. ග්‍රේෂන් ධනංජය තුන්පිම්ම පිරිමි ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයට අද පෙරවරුවේ එක්වීමට නියමිතයි. මේ අතර මීටර් 400 පිරිමි හා කාන්තා මූලික වටයේ තරග සඳහා අජිත් ප්‍රේමකුමාර සහ නදීෂා රාමනායක සහභාගී වේ. අද හිමාෂ ඒශාන් මීටර් 100 පිරිමි ධාවන ඉස්වේ මූලික වටයේ තරගයක් සඳහා සහභාගීවීමට නියමිතයි. ආසියාවේ රටවල් 43 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700 කට ආසන්න පිරිසක් සහභාගීවන මෙම ශූරතාවලියේදී ඉසව් 43 ක් වෙනුවෙන් පදක්කම් 186 ක් ප්‍රධානය කෙරේ.