ස්ථාන 8ක බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 262ක් මරුට, 452කට තුවාල

by Staff writer 21-04-2019 | 6:46 PM
COLOMBO (News 1st) : අද උදෑසන සිට දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයින් 262 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 452 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ විමර්ශන ආරම්භ කර ඇති බවයි. කොච්චිකඩේ දේවාස්ථානය, කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ හෝටල් 3ක, දෙහිවල සත්ත්වෝද්‍යානය ආසන්නයේ උත්සව ශාලාවක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම් සිදුවිය. පිපිරිම්වලින් මියගිය සහ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවන් පහත පරිදි වේ. ජාතික රෝහල - මෘත ශරීර 121යි, තුවාලකරුවන් 261 මීගමුව රෝහල - මෘත ශරීර 104යි, තුවාලකරුවන් 100යි කළුබෝවිල රෝහල - මෘත ශරීර 2යි, තුවාලකරුවන් 6යි මඩකලපුව රෝහල - මෘත ශරීර 28යි, තුවාලකරුවන් 51යි රාගම රෝහල - මෘත ශරීර 7යි, තුවාලකරුවන් 32 යි. ගම්පහ රෝහල - තුවාලකරුවන් 2 යි. ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර  විදේශිකයින් 39 දෙනෙකුගේ සිරුරු ද ඇති අතර ඔවුන් අමෙරිකාව, ඩෙන්මාර්කය, චීනය, ජපානය, පකිස්ථානය , මොරොක්කෝව, ඉන්දියාව සහ බංග්ලාදේශ යන රටවලට අයත් පුද්ගලයින් බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මේ අතර කොළඹ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූයේ, උදෑසන සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙමටගොඩ ප්‍රදේශයෙන් නිවසක නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වීමේදී එහි සිදුවූ පිපිරීම්වලිනි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරික්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි. මෙහිදී පිපිරීම් දෙකක් සිදුව ඇති අතර ඉන් තවත් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ. එහිදී සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීති පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පිටත්ව යන පුද්ගලයින්ට අනන්‍යතාව තහවුරු කරමින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටත්ව යා හැකි බවයි. එමෙන් ම උද්ගතව ඇති ත්ත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරි ස්ථාපනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, 011 2322485 අංකය ඇමතීමෙන් මහජනතාවට මෙම සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බවයි. මීට අමතරව මෙම පිපිරීම්වලට අදාළව විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේදී විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කර ඇත. ඒ අනුව 011 23 23 0 15 අංකය ඇමතීමෙන් විදේශිකයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකියි. තවද මේ වනවිට රෝහල් ඇතුළු බොහෝ ස්ථානවල ආරක්ෂාව තර කර ඇති බව ත් මේ මොහොතේ පැතර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර සිදුවූ පිපිරීම්වලින් බහුතරයක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය. තව ද 22, 23 දෙදින පෞද්ගලික සහ රජයේ සියලු පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පැවසුවේ, නැවත දැනුම් දෙන තුරු සියලුම රජයේ විශ්වවිද්‍යාල වසා දැමීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත් සිසු සිසුවියන්ට තවදුරටත් නේවාසිකාගාරවල රැඳි සිටිය හැකි බවයි. හෙටින් ආරම්භවීමට නියමිතව තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර එම විභාගයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ඇති. 1. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය – 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම 2. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය – 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත අවසාන (සාමාන්‍ය උපාධි) 3. ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ භාෂා පරීක්ෂණය – 2018 (2019) 4. ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය – 2018 (2019) මේ අතර පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි කථානායක කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බවයි. මේ අතර අද උදෑසන සිට එල්ල වූ ප්‍රහාරයන් අගාමික නායකයින් ඇතුළු ලෝක නායකයින් දැඩි ලෙස හෙළා දැක තිබේ. ෆ්‍රැන්සිස් ශූද්ධෝත්තම පියතුමන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්, යුරෝපා කොමිසමේ සභාපති ඇතුළු ලෝක නායකයින් රැසක් ශ්‍රී ලංකාවට එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයන් දැඩිව හෙළා දැක තිබේ.