පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 190ක් දක්වා ඉහළට

UPDATE : දිවයිනේ ස්ථාන කිහිපයක පිපිරීම්: මියගිය සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

by Staff writer 21-04-2019 | 9:31 AM

COLOMBO (News 1st) - (1.44 Pm)දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 190 දක්වා ඉහළ ගොස් තිබේ

තුවාල තුවාල ලැබු පිරිස 469 කි. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, මියගිය 46 දෙනෙකුගේ සිරුරු රෝහලේ තබා ඇති බවයි. මියගිය විදේශිකයින් 11 දෙනෙකු ද ඒ අතර වේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 259 කි. කටානේ කටුවාපිටිය දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මිවගිය පුද්ගලයින් 74 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලට ගෙන ආ බව එහි අධ්‍යක්ෂවරයා පැවසී ය. මීට අමතරව එම පිපිරීමෙන් මියගිය තවත් 31 දෙනෙකු මහේස්ත්‍රාත් පරික්ෂණය අවසන් වනතුරු එම දේවස්ථානයේ තබා තිබෙන බව ද කටාන පොලීසිය පැවසී ය. කටුවාපිටිය පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් 83 දෙනෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් 30 දෙනෙකු වෙනත් රෝහල්වලට මාරු කර යවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය. මියගිය 7 දෙනෙකුගේ සිරුරු රාගම රොහලේ තබා ඇති අතර එහි ප්‍රතිකාර ලබන පිරිස 30 කි. මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය 27 දෙනෙකුගේ සිරුරු මඩකලපුව රෝහලේ තබා ඇතැයි එහි අධ්‍යක්ෂවරිය පැවසී ය. එම පිපිරිමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන පිරිස 80කි. කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබු තවත් 17 දෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙකු විදේශිකයින් බව රෝහල් පොලීසිය සඳහන් කළේ ය.

________________________________________________________

COLOMBO (News 1st) - කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ මීට ටික වේලාවකට පෙර පිපිරීමක් සිදු ව තිබේ.

පිපිරීමෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන එමින් පවතින අතර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට රෝගීන් 50කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන ආ බවයි. තවදුරටත් තුවාල ලැබූවන් ජාතික රෝහල වෙත රැගෙන එමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළහ. මේ අතර මීගමුව කටුවාපිටිය දේවස්ථානය අසළ ද පිපිරීමක් සිදුව තිබේ. ඊට අමතරව කොළඹ ෂැන්ග්‍රීලා හෝටල් පරිශ්‍රයේ සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පිපිරීමක් සිදු ව තිබේ. එම පිපිරීම් දෙකෙන් ද විදේශිකයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මේ අතර මඩකලපුව සියෝන් දේවස්ථානය අසළ ද අද උදැසන පිපිරීමක් සිදු ව ඇතැයි මේ වනවිට තොරතුරු වාර්තා වේ. ඉන් මේ වනවිට 10 දෙනෙකු මිය ගොස් තව ත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසුවේ ය. මේ අතර කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේ ද මීට ටික වේලාවකට පෙර පිපිරීමක් සිදු ව ඇත. ඉන් විදේශිකයන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් ජාතික රෝහලට රැගෙන එමින් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඒ අනූව මේ වනවිට කොළඹ ස්ථාන 04 ක හා මීගමුව හා මඩකලපුව දේවස්ථාන දෙකක පිපිරිම් වාර්තා වේ. කොළඹ ප්‍රදේශයේ පිපිරීම්වලින් මිය ගිය පුද්ගලයින් 40 දෙනෙකුගේ සිරුරු රෝහලේ ඇතැයි ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකොන් මහත්මිය පවසයි. තුවාල ලැබූවන් 295 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින බව ඇය සඳහන් කළා ය. මේ අතර කටාන පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසූවේ, මියගිය පුද්ගලයින් 68 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලට ගෙනැවිත් ඇති බවයි. තව ත් මිය ගිය පුද්ගලයින් 25 දෙනෙකුගේ සිරුරු කටුවපිටිය දේවස්ථානයේ ඇතැයි ද පොලිස්පතිවරයා සඳහන් කළේ ය. මීගමුව රෝහලට ඇතුළත් කර සිටින තුවාලකරුවන් සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර මඩකලපුව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් 27 දෙනෙකුගේ සිරුරු රෝහලට ගෙනැවිත් ඇති බවයි. තුවාලකරුවන් 73 දෙනෙකු මඩකලපුව රෝහලේ සිටින බව ද ඇය සඳහන් කළා ය. https://www.facebook.com/NewsfirstSL/videos/426519331444490/ https://www.facebook.com/NewsfirstSL/videos/280639906148578/