වැඩ කරන ජනතාවගේ EPF අරමුදල් කොල්ලයේ සැඟවුණු විත්ති

වැඩ කරන ජනතාවගේ EPF අරමුදල් කොල්ලයේ සැඟවුණු විත්ති

by Staff writer 20-04-2019 | 9:03 PM
COLOMBO (News 1st) - මෙරට වැඩ කරන ජනතාවගේ අරමුදල්වලින් ගොඩනැගුණු විශාලතම අරමුදල ලෙස සැලකෙන සේවක අර්ථසාධක අරමුදල දේශපාලන වංචනිකයින්ගේ ග්‍රහණයට නතු වූ අවස්ථා රැසක් අනාවරණය වී තිබේ. බැඳුම්කර වංචාව හරහා සිදු වූ සේවක අර්ථසාධක අරමුදල් කොල්ලය මෙන්ම ඊට පෙර හා පසු සිදූ වූ තවත් කොල්ලයන් රැසක් පිළිබඳව තොරතුරු අද සිට ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. මේ එහි පළමු දිගහැරුම... මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ අරමුදල්වලින් ගොඩනැගී ඇති සේවක අර්ථසාධක අරමුදලේ 2017 වසරේ දෙසැම්බර් 31 වන දා වන විට ක්‍රියාකාරී සාමාජිකයින් ගණන මිලියන 2.63කි. අරමුදල සතුව එදිනට පැවති ශුද්ධ වටිනාකම රුපියල් බිලියන 2066කි. මෙම අරමුදලට පසුගිය වර්ෂ කිහිපය තුළදී සෘජුව හා වක්‍රව බලපෑම් ඇති වී ඇති අවස්ථා කිහිපයක් සාකච්ඡාවට ලක් විය. එම කරුණු ද සැලකිල්ලට ගනිමින් සෘජු ක්‍රමයට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කළ 2015 පෙබරවාරි මස 27 දින සිට ද්විතීක වෙළෙඳපොළේ ගනුදෙනුවලින් ඉවත් වූ දින එනම් 2016 මැයි මස දක්වා කාල පරිච්ඡේදය වැඩි අවධානයක් යොමු කරමින් සිදු කරන ලද විශේෂ විගණනයේ වාර්තාව මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ. 2008 වසරේ සිට 2016 දක්වා කාල පරිච්ඡේදය තුළ සේවක අර්ථසාධක අරමුදල, ප්‍රාථමික වෙළෙඳපොළෙහි භාණ්ඩාගාර බැඳුම්කර මිලට ගැනීම 95% සිට 66% දක්වා අඩු වී තිබේ. ඊට සමගාමීව ද්විතීක වෙළෙඳපොළෙහි භාණ්ඩාගාර බැඳුම්කර මිලට ගැනීම 5% සිට 34% දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී අවධානය ලක්ව ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ, සේවක අර්ථසාධක අරමුදල බැඳුම්කර සඳහා ඉදිරිපත් කරන ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගැනීම දිගින් දිගටම පහළ ගොස් තිබීමයි. 2013 වසරේදී 94%ක් වූ අරමුදලේ ලංසු පිළිගැනීමේ ප්‍රවණතාව 2016 වසර වන විට 57% දක්වා පහත වැටීම ප්‍රශ්නාර්ථයකි. රටේ ජනතාවට දහසක් බලපොරොත්තු හා සිහින දී බලයට පත් වූ දේශපාලන අධිකාරිය සිය හිතවතුන් වෙනුවෙන් සේවක අරමුදල් බිල්ලට දෙන පසුබිමක එහි සැබෑ හිමිකරුවන්ට අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි. ඒ පිළිබඳව මෙන්ම සේවක අර්ථසාධක අරමුදල් හරහා සිදු වූ තවත් වංචා හා දූෂිත ගණුදෙනු පිළිබඳව හා ඊට වගකිව යුත්තන් පිළිබඳ තොරතුරු හෙට...