කුමන ආරක්ෂිත ද?

කුමන ආරක්ෂිත ද?

by Staff writer 20-04-2019 | 9:07 PM
COLOMBO (News 1st) - කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ ගොදුරක් බවට පත් වූ කම්කරුවාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි. මේ අතර අදාළ සිද්ධිය සිදු වූ වනෝද්‍යානයේ බාගුරේ ප්‍රදේශය අදත් සංචාරකයින්ට විවෘත නොකෙරිණි. පසුගිය 18 වන දා සවස කුමන ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටි කම්කරුවෙකු දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් මරා දමා තිබිණි. අනතුරුව තවත් පුද්ගලයෙකුට එම දිවියාම පහර දී තිබුණේ, දිවියා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සෙවීමට වනජීවී නිලධාරීන් පිරිසක් ඇතුළු කිහිප දෙනෙකු වනයට ගිය අවස්ථාවේදී ය. ඉන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා තවමත් අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඒ සමග අදාළ සිද්ධිය සිදු වූ ප්‍රදේශය අදත් සංචාරකයින්ට විවෘත නොවූවත්, එම පියවර පමණක් සංචාරකයින්ගේ ආරක්ෂාවට ප්‍රමාණවත් ද යන්න ගැටලුවකි. මේ ආකාරයට වන සතුන්ගේ ප්‍රහාරවලට ජනතාව ගොදුරු වූ පළමු අවස්ථාව මෙය නොවේ. කඳුකරයේ ජනතාව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව අවස්ථා කිහිපයකදීම මීට පෙර හඳුන් දිවියන් ආදී සතුන්ගේ ද ප්‍රහාරවලට ලක් විය. එම අවස්ථාවේදීත් අද වන් කතා බහක් ඇති වුවත්, දින කිහිපයකට පසු ඒ සියල්ල වනජීවී දෙපාර්තමේන්තුවේ බලධාරීන් ඇතුළු සැම අමතක කර දැමුවා මිස රටට වටිනා සත්ත්ව ප්‍රජාව හා මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කළා ද යන්න ගැටලුවකි.