ශ්‍රී ලංකාවට බර ඉසිලීමෙන් තව ත් පදක්කමක්

ඉතිහාසයේ පළමුවරට ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

by Staff writer 20-04-2019 | 1:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ඩිලන්ක ඉසුරු කුමාර චීනයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම අද දිනා ගැනීමට සමත් විය.

ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක් බර ප්‍රමාණයක් සහා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක බර ප්‍රමාණයක් එසවීමට සමත්ව තිබේ. ඒ අනුව ඩිලන්ක ඉසුරු කුමාර මේ දිනාගත් ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෙකු ආසියානු තරගාවලියක ජ්‍යෙෂ්ඨ අංශයෙන් දිනා ගත් පළමු පදක්කම ලෙසයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත් ය. චින්තන ගීතාල් විතානගේ කිලෝග්‍රෑම් 81, ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73, තිලංග පලඟසිංහ කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් තරග වැදීමට නියමිතයි. හංසනී ගෝමස් කිලෝග්‍රෑම් 49 ක බර පන්තියෙන් සහ චමරි වර්ණකුලසූරිය කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වදිනු ඇත. මෙම ආසියානු බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙන්නේ එළඹෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසවීම විශේෂත්වයකි.