සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්‍රමිකතා රැසක් විගණන වාර්තාවෙන් හෙළිවෙයි

by Staff writer 19-04-2019 | 10:26 PM

COLOMBO (News 1st) - 2015 හා 2016 යන වසර දෙක තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදු ව ඇති අක්‍රමිකතා රැසක් විගණකාධිපති වාර්තාව අනාවරණ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ පවතින බරපතළ අක්‍රමිකතා රැසක් මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. අමාත්‍යාංශය මිලදී ගත් ඇතැම් ඖෂධ වර්ග භාවිතයට නුසුදුසු හෝ රෝගීන්ට අහිතකර එවා ලෙස සලකා ඉවත් කරගත් අවස්ථා රැසක් පසුගිය කාලය තුළ සිදු ව ඇති බව වාර්තාවේ සඳහන් ය. 2014 - 2016 අතර කාලය තුළ පමණක් මෙලෙස බාල හෝ අහිතකර ඖෂධ වර්ග 180 ක් ඉවත් කරගෙන ඇත. ඉන් ඖෂධ වර්ග 117 ක් ආනයනය කර තිබුනේ ඉන්දියාවෙනි. එසේ ඉවත් කරගත් ඖෂධ වර්ග 10 ක් පාකිස්ථානයෙන් ද වර්ග 8 ක් බංගලාදේශයෙන් ද ආනයනය කර තිබුණි. මෙහි වඩාත්ම ඛේදජනක තත්ත්වය වන්නේ, ප්‍රත්ක්ෂේප කෙරුණ ඖෂධ වර්ග භාවිතයෙන් ඉවත් කරන තීරණ ගන්නා අවස්ථාව වන විටත් එම ඖෂධ වර්ග බොහොමයක් 32% ක සිට සම්පුර්ණ තොගයම දක්වා ප්‍රමාණයක් රෝගීන්ට නිකුත් කර අවසන්ව තිබිමයි. දියවැඩියාව, අපස්මාරය, පැපොල හා ගර්භනී මව්වරුන්ට ලබා දෙන ඖෂධ වර්ග මෙසේ රෝගීන්ට නිකුත් කර ඇති බව ද අදාළ වාර්තවේ සඳහන් වේ. මෙම බාල බෙහෙත් සැපයු සැපයුම්කරුවන් අසාදු ලේඛනය ඇතුලත් කරනවා වෙනුවට දිගින් දිගටම ඔවුන්ගෙන්ම ඖෂධ ලබාගැනීමට හේතුව කුමක් ද යන්න ප්‍රශ්න සහගත කරුණකි. වෛද්‍ය සැපයුම් අංශය නිසි කලට අවශ්‍ය ඖෂධ ඇනවුම් නොකර හදිසි මිලදී ගැනීම්වලට යාම නිසා පසුගිය වසර 10 තුළ දරන්නට සිදු වූ අතිරේක පිරිවැය රුපියල් බිලියන 5.1 ක් හෙවත් මිලියන 5166 ක් බව විගණකාධිපති වාර්තාවේ සඳහන් ය. මේසේ කළ හදිසි මිලදී ගැනීම් නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ශත 64 කට ලබාගත හැකිව තිබුණු බෙහෙත් පෙත්තක් එකත් රුපියල් 64 ක් ගෙවා ලබාගෙන තිබුණි. මේ අතර රුපියල් 1058 කට මිලිදී ගත හැකිව තිබුණ එන්නතක් රුපියල් 19,000 බැගින් මිලදී ගෙන ඇති බව ද වාර්තාවේ සඳහන් ය. එමෙන්ම රෝහල් විසින් වෙළඳපොළෙන් වෛද්‍ය අයිතම මිල දී ගන්නා විට ද මේ ආකාරයේ අක්‍රමිකතා සිදු වී ඇති බව මේ විගණන වාර්තාව හෙළි කරයි. එකක් රු 35.26 ක් වන ශල්‍ය අත්වැසුම් තොගයක් කාසල් විදියේ කාන්තා රෝහල විසින් මිලදී ගෙන තිබුනේ රු 57.25 කටයි. භාවිතයෙන් ඉවත් කළ බාල ඖෂධ හේතුවෙන් 2015 වසරේ රු. මිලියන 234 ක් ද 2016 වසරේ දී රු මිලියන 602 ක අලාභයක් ද සිදු ව ඇතැයි විගණකාධිපති වාර්තාව හෙළි කරයි. පසුගිය දිනවල නිකුත් කෙරුණු විගණකාධිපතිවරයාගේ වාර්තා තුළින් රාජ්‍ය ආයතන රැසක අක්‍රමිකතා හෙළි කර තිබුණි. ඉන් සමෘධි ව්‍යාපාරය, උමා ඔය ව්‍යාපෘතිය, රන් මිශ්‍ර පස් අපනයන ජාවාරම, මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමේ සිද්ධියවලදී සිදු වූ අක්‍රමිකතා ඉන් ප්‍රධානයි. මේ දුෂණවලින් ලාභ ලබන්නේ කවුරුන් ද යන්න ජනතාව හොඳින්ම දන්නා දෙයකි. නමුත් මේ දුෂණ හා අක්‍රමිකතා වෙනුවෙන් පීඩාවිඳිමටත් වන්දි ගෙවීමට සිදුවන්නේ මෙරට පොදු මහජනතාවටයි. තවදුරටත් මෙවැනි දෑ සිදුවීමට ඉඩ තබනවා ද? ඒ පිළිබඳව සිතා තීරණයක් ගතයුතු කාලය දැන් එළඹෙමින් පවතින බව ද මතකයේ තබා ගන්න...