නවක වදයේ හෙළි නොවූ තොරතුරු ගැන හෙළිදරව්වක්

නවක වදයේ හෙළි නොවූ තොරතුරු ගැන හෙළිදරව්වක්

by Staff writer 19-04-2019 | 12:50 PM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල තුළ අද පවතින්නේ එදා පැවති නවක වදය නොව, එය අද වන විට ලිංගික අඩත්තේට්ටම් සහ හිංසනයක් බවට පරිවර්තනය කර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ, ශිෂ්‍ය සංගම් විසින් මෙලෙස සිසුන් විවිධ හිංසනයන්ට ලක් කරන බව ය. මෙලෙස වදහිංසාවලට ලක් කිරීම හේතුවෙන් සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හරින බව ද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ය. මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාල පාලනය කරන තෙක් නවක වදය නැවැත්විය නොහැකි බව ය. නවක වදය මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට හා ආචාර්යවරුන්ට සහයෝගය ලබා දෙන ලෙස මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා දෙමව්පියන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටියි.