කොළොන්නාව නගර සභා ගොඩනැගිල්ලක මත්ද්‍රව්‍ය ජාවාරමක්...

by Staff writer 19-04-2019 | 7:51 PM

COLOMBO (News 1st) - කොළොන්නාව නගර සභා ගොඩනැගිල්ලක කාමරයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පොලීසිය පසුගිය දා සමත්විය.

වැටලීමේදී පළා ගිය ප්‍රධාන සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. පසුගිය 13 වැනි දා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණි. නගර සභා ගොඩනැගිල්ලේ විදුලි කාර්මික නේවාසිකාගර කාමරයේ කළ සෝදිසියකදී ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ළඟ තබාගෙන ඇති ගංජා ප්‍රමාණය ග්‍රෑම් 10 ක්. වැටලීම සිදුවන අවස්ථාවේ එම කාමරයේ නේවාසිකව සිටින නිහාල් ගුණසේකර නැමති නගර සභාවේ විදුලි කාර්මික නිලධාරීයා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ කාමරයේ පසුව කළ සෝදිසියේදී ගංජා කිලෝ 3 යි ග්‍රෑම් 372 ක්, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 39 ක් සහ ඉලෙක්ට්‍රොනික් තරාදියක් සිය භාරයට ගත් බවයි. ඊට අමතරව රුපියල් 77, 620 ක මුදලක් පොලීසිය සොයාගෙන තිබේ. නගර සභා ගොඩනැගිල්ලේ මෙම කාමරය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සැකකරුවන් පවත්වාගෙන ගොස් ඇති බවට සැක කෙරේ. 23 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු හා 19 හැවිරිදි තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි. ඉන් එක් සැකකරුවෙකු නගර සභා සේවකයෙකු වන අතර සෙසු සැකකරුවන් බාහිර පුද්ගලයින් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් ඉකුත් 14 වන දා අංක 02 - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අප කළ විමසීමකදී කොළොන්නාව නගර සභාවේ සභාපති ගුත්තිල සිල්වා මහතා පැවසුවේ, නගර සභා සේවකයෙක්යැයි පවසන පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර සේවයෙන් ඉවත් කළ අයෙකු බවයි. නමුත් වැටලීම සිදුවන අවස්ථාවේ ඔහු සතුව නගර සභා හැඳුනුම්පතක් තිබී ඇති අතර එය පෙන්වමින් තමා නගර සභාවේ සේවකයෙක් යැයි පවසා තිබේ. එමෙන්ම සිද්ධිය වන අවස්ථාවේ රාජකාරී කළ මුරකරුවන් දෙදෙනෙකුගේ සහ සැකකාර විදුලි කාර්මික නිලධාරියාගේ සේවය අත්හිටුවීමට ද පාලනාධිකාරිය පියවර ගනු ලැබුවේ ය. කො‍ළොන්නාව නගර සභාවේ සභාපති, ගුත්තිල සිල්වා,
අපි අවරුදු 6 ක් විතර තිස්සේ මේ නගර සභාවේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කෙරෙනවා කියලා අපි දැනන් හිටියා. මේකේ අපි පාලනය ගත්තේ අවුරුද්දකට ඉස්සෙල්ලා. අපිට ඕනේ වුණා මේක නවත්තන්න. නමුත් අපිට මේක නවත්වගන්න බැරි වුණා. අපි දැනගත්තා කාලෙන් කාලෙට මේක කෙරනෙවා කියලා. අපේ මන්ත්‍රීවරයෙක් මේ ගැන කතා කරලා මරණ තර්ජන එල්ල වෙලා තිබුණා. සමහර වෙලාවට පොලීසියත් දැනුවත් කරලා තියනවා.
කො‍ළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක, සාලිය වික්‍රමසිංහ,
මේ දේවල් අපි පහුගිය මාස හයක හතක කාලය තුළදී දැනගන්න ලැබුනට පස්සේ අපි සභා රැස්වීම්වලදී කිව්වා. කැමරා 14 ක් හයි කරලා තියනවා. නමුත් මේවා නියමිත පරිදි පරීක්ෂා කරනවද කියන එක මම දන්නේ නෑ. ඒ වගේම අපි යෝජනා කලා මේකේ මුර කටයුතු සිවිල් ආරක්ෂක හමුදාවට භාර දෙන්න. නමුත් ඒ දේවල් සිද්ද වුණේ නෑ කුමන හෝ හේතු නිසා. සභිකයන්ට තර්ජන තිබුණා. කළමනාකරණය කරන්න තිබුණ දෙයක් කල් ගත්ත නිසා තමයි මේ දේවල් වුණේ. කෙසේවෙතත් අපි සන්තෝස විය යුතුයි ජනාධිපතිතුමාගේ මේ මැදිහත්වීම තුළ මත්ද්‍රව්‍ය මර්දනය කෙරෙන නිසා වැල්ලම්පිටිය පොලීසිය ක්‍රියාකාරී වෙලා අද මේ තත්ත්වය හෙළිදරව් වෙලා තියනවා.
වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පෞද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවත් මීට පෙර පැමිණිල්ලක් ලැබී නොතිබුණු බවත් පොලීසිය සඳහන් කළේ ය. බලධාරීන්ගේ ප්‍රකාශවලින් පෙන්නුම් කරන්නේ කොළොන්නාව නගර සභාව කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කෙරෙන බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දැන සිටි බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බවට සමාජයේ මතයක් ගොඩ නැගෙමින් පවති. එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කළ යුතුය යන අදහසත් මේ දිනවල කතා බහට ලක්වේ. කෙසේ වුවත් ජනතාව පවසන්නේ ඉතා ඉක්මනින් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවයි. නොඑසේ නම් රටත් අනාගත පරපුරත් විනාශයට පත්වීම වැළක්විය නොහැක්කේය.