කුමන වනෝද්‍යානය තුළ කොටියෙකුගේ ප්‍රහාරයකින් කම්කරුවෙකු මරුට: තව ත් අයෙකුටත් අසාධ්‍යයි

by Staff writer 19-04-2019 | 7:33 PM

COLOMBO (News 1st) - ඊයේ සවස කුමන ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතව සිටි කම්කරුවෙකු කොටියෙකු විසින් ඩැහැගෙන ගොස් මරා දමා තිබේ.

එහිදී බරපතළ තුවාල ලැබූ තව ත් පුද්ගලයෙකු මේ වන විට අම්පාර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇත. මේ වන විට සිද්ධිය වූ කලාපය තාවකාලිව වසාදමා ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ. මේ දිනවල කුමන ජාතික වනෝද්‍යානයේ බාගූරේ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුත්තක් සිදුවනු ඇත. ඒ සඳහා කම්කරුවන් සිව්දෙනෙකු ඊයේ පස්වරුවේ පස් රැගෙන වනෝද්‍යානයේ මෙම ප්‍රදේශය වෙත පැමිණ තිබේ. මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන්ට මුහුණදීමට සිදු ව ඇත්තේ ඒ අවස්ථාවේදීයි. සිද්ධියට මුහුණ දුන් කම්කරුවෙක්,
අපි තුන්දෙනෙක් ඉස්සරහින් හිටියා, දෙන්නෙක් පිටිපස්සේ වාඩිවෙලා හිටියා එයා රතුපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියේ. ඊට පස්සේ සද්දයක් ඇහුණා. බලද්දි පිටිපස්සෙන් කොටියෙක් ඇවිල්ලා කොටියා කකුල් දෙකෙන් හිටගෙන බෙල්ලෙන් අල්ලලා එයාව අරන් ගියා. අපි උදැල්ලෙන් ගැහුවා බේරගන්න උත්සාහ කළා ඒත් අපිට බැරි වුණා.
කොටියා ඩැහැගෙන ගිය පුද්ගලයා බේරාගැනීමට සෙසු කම්කරුවන් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. සිද්ධියට මුහුණ දුන් කම්කරුවෙක්,
එක පාරම ඇවිල්ලා ඇදගෙන යනවා, අපි කෑ ගහලා උදැල්ලෙන් එහෙම ගැහුවා හරි ගියේ නැහැ
සිද්ධියට මුහුණදුන් කම්කරුවෙක්,
අපි කැළෑව හෙළිකරලා හෙව්වා. හම්බුනේ නැහැ වනජීවි නිලධාරීන් සෆාරි වාහනයකින් ආවේ. පස්සේ හොයනකොට බොඩි එක හම්බනා. අපිට අහකට යන්න කිව්වා. අපි මෙහාට ආවා. සෆාරි ඩ්‍රයිවර් ෆොටෝ ගන්න ගිහින් තියෙනවා. එතකොටම ලොකු සද්දයක් ඇහුනා ඊට පස්සේ වෙඩි සද්දයකුත් ඇහුණා. පොඩි වෙලාවක් යනකොට සෆාරි ඩ්‍රයවර්ව උස්සගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා.
පසුව අම්පාර වනජීවි කාර්යාලයේ නිලධාරීන් පෞද්ගලික රථයකින් පැමිණ කොටියා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත. පෞද්ගලික රථයේ රියැදුරුට කොටියාගෙන් යළි ත් ප්‍රහාරයක් එල්ල වන්නේ මේ අතරතුරෙයි. කොටියා පළවා හැරීමෙන් අනතුරුව ඩැහැගෙන ගිය පුද්ගලයාගේ සිරුර වනජීවි නිලධාරීන් සොයා ගෙන තිබේ.
සිද්ධියට මුහුණ දුන් කම්කරුවෙක්, සිරුර හොයාගත්තයින් පස්සේ අපිට කිව්වා ඔයාලා දැන් එළියට යන්න කියලා. ටික දුරක් යනකොට අපිට ඇහුනා කෑගහනවා. වෙඩි සද්දෙකුත් ඇහුණා. ටික වෙලාවකින් මැරිච්ච එක්කෙනා එතන ඉන්නකොට තුවාලකරු එළියට අරගෙන ආවා කට්ටිය
වනෝද්‍යානයෙන් පිටතට පැමිණ පිරිස කොටි ප්‍රහාරයෙන් තුවාල ලැබූ රියැදුරු අම්පාර මහ රෝහලට ඇතුලත් කර තිබේ. ඔහුගේ තත්ත්වය බරපතළ බව අම්පාර රෝහලේ නිලධාරියෙකු සඳහන් කළේ ය. මියගිය කම්කරුවාගේ දේහය වනෝද්‍යානයෙන් එළියට රැගෙනවිත් ඇත්තේ මෙම සිද්ධියෙන් පැය 5 කට පමණ පසුවයි. කොටියෙකුගේ ගොදුරක් වී මෙලෙස මියගියේ, තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සෙල්ලදුරෙයි රවිචන්ද්‍ර නැමති සිව්දරු පියෙකි. මෙවැනි දරුණු තත්ත්වයක් කොටියෙකු පෙන්නුම් කරන්නේ ඇයි ? අප ඒ පිළිබඳව වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතාගෙන් විමසීමක් කළෙමු. වනජීවි පශු වෛද්‍ය, නිහාල් පුෂ්පකුමාර,
පුද්ගලයෙකු ඇදගෙන ගොස් මරා දමා තව ත් පිරිසක් අතරේ ඉන්න කෙනෙක්ට පහර දෙනවා කියලා කියන්නේ හැසිරීමේ වෙනස්වීමක් සමහර විට මිනිසුන් දඩයම් කිරීමට හෝ වෙනස්වීමක් වෙන්න පුළුවන්
වනාන්තරය ඇතුළත සංවර්ධන කටයුත්තක් සිදුවන විට කම්කරුවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වනජීවි නිලධාරීන් යෙදෙවීමේ කිසිදු නීතිමය බැඳීමක් නොමැති බව වනජීවි අධ්‍යක්ෂ ජනාරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, දීර්ඝ කාලයක සිට මාර්ග නඩත්තු කිරීමේ කටයුතු නිරන්තරයෙන් සිදුවන බවත් හැකි සෑම අවස්ථාවකදීම එම කටයුතු අධීක්ෂණය සඳහා වනජීවි නිලධාරීන් යොදවා ඇති බවත් ය. සංචාරකයින් වනෝද්‍යාන තුළට ඇතුළුවීමේදී ආරක්ෂාව සැලසීම වනජීවි නිලධාරීන්ගේ ප්‍රමුඛ කාර්ය වන අතර සිද්ධිය වූ ඊයේ දින වනෝද්‍යානයේ සංචාරකයින් බහුලව සිටි දිනයක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා. කොටියාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා රැගෙන යෑම සඳහා පෞද්ගලික වාහනයක් යෙදවීමට හේතු වී ඇත්තේ අදාළ ස්ථානයට ආසන්නයෙන්ම පිහිටි අම්පාර වනජීවි කාර්යාලයේ තිබෙන වාහන තුනෙන් දෙකක්ම කැඩී තිබීමයි. ඉතිරි වාහනය ද රාජකාරි කටයුත්තක් සඳහා වෙනත් ස්ථානයක යොමුකර තිබූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය. කොටියාට කිසිදු හානියක් සිදු ව නොමැති බවත් සත්ත්වයාගේ ජීවන රටාව අධ්‍යයනය කිරීමෙන් පසු පියවරක් ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අප කළ විමසීමකදී සඳහන් කළේ ය.