COLOMBO (News 1st) - උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන රජයේ ණය ආධාර මත ක්‍රියාත්මක වූවත් මේ වන විට සමස්ත වියදමින් 80% ක පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදු ව තිබේ.
රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් ව ඇති මෙවන් වකවානුවක ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ගාරයෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවීම කෙතරම් අහිතකර ද?
මේ ඒ පිලිබඳව විමසා බැලීමක්....
2008 වසරේදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැඩකටයුතු ආරම්භ කෙරුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ යි.
ඒ අනුව ඉරාන රජය විසින් ඇස්තමේන්තුගත වියදමින් 85% ක් දැරීමට යෝජනා වී තිබුණි.
ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 514 ක් .
ඉරානයට සම්බාධක පැනවීමත් සමග උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම වන ෆරාබ් සමාගමට මෙම පිරිවැය දැරීම නොහැකි විය.
මේ හේතුවෙන් ඉරාන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දුන් ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 50 කට සීමා විය.
ඒ අනුව ශ්‍රී ලංකා රජය ව්‍යාපෘතියේ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 464 ක වියදමක් දැරීමට සිදුවිණි.
ව්‍යාපෘතියේ වැඩකටයුතු 95% ක් මේ වන විට නිම කර ඇති අතර ඉතිරි වැඩ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 71 ක පමණ මුදලක් අවශ්‍යව තිබේ.
ව්‍යාපෘතිය අවසන් කිරීමේ කාලසීමාව වසරකින් පමණ ප්‍රමාද වී ඇත්තේ ප්‍රධාන උමං මාර්ගයේ ඇති ජල කාන්දුව නිසයි.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ආචාර්ය සුනිල් ද සිල්වා,
ව්‍යාපෘතියේ කැණීම් කරගෙන යනකොට ජල කාන්දුවක් ඇති වුනා. ඒ ගැන හැමෝම දන්නවා, ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වෙලා නොවීජියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව නොවීජියානු විශේෂඥයන්ගේ සහය අපිට ලබා දුන්නා. ඔවුන්ගේ උපදෙස් අනුව අපි ඒ යන්ත්‍ර නවීකරණය කරලා ඔවුන්ගේ උපදෙස් අනුව කැණීම් කටයුතු කරගෙන ගියා. දැනටත් කැණීම් කටයුතු කරන්නේ ඒක ආකාරයටයි.
අවසන් අදියරේ පැවති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවේ.
ඉන් ප්‍රමුඛ කාරණයක් වන්නේ, භූගත ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක්වීමයි.
ඊට අමතරව ජල විදුලි උත්පාදනයෙන් පසු බැහැර වෙන ජලය අලිකොට ආර හා හඳපානගල ජලාශවලට රැස් කර කුඹුරු අක්කර 1000 කට පමණ ජලය සැපයීමට යෝජිතව තිබේ.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ආචාර්ය සුනිල් ද සිල්වා,
උමා ඔය ව්‍යාපෘතියෙන් කෙරෙන්නේ මහවැලියේ අත්තක් වන උමා ඔයේ අතිරික්ත ජලය උග්‍ර ජල හිඟයකින් පීඩා විඳින අසල්වැසි කිරිදිඔය ද්‍රෝණියට හරවා යැවීමයි. මෙහිදී මතක් කරන්න ඕනේ අපි හරවා යවන්න බලාපොරොත්තු වෙන්නේ අතරික්ත ජලය පමණයි. ඒ අතරතුර මූලික අරමුණ මේ උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින කුඹුක්කන ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය ඒ ජල ඌනතාවයට පිළියමක් අවශ්‍ය ජලය ලබාදීමයි.