කුමන වනෝද්‍යානයේදී කොටියෙකුගේ පහරකින් අයෙක් මරුට

කුමන ජාතික වනෝද්‍යානයේදී කොටියෙකුගේ පහර දීමකින් අයෙක් මරුට

by Staff writer 18-04-2019 | 10:24 PM
COLOMBO (News 1st) - කුමන ජාතික වනෝද්‍යානය තුළදී කොටියෙකුගේ පහර දීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. කුමන ජාතික වනෝද්‍යානයේ බාගුරේ ප්‍රදේශයේ අද පස්වරුවේ මාර්ග නඩත්තු කිරීමේ කටයුත්තක නිරත වෙමින් සිටි පුද්ගලයෙකු පළමුව කොටියාගේ පහර කෑමට ලක් විය. ඒ, කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කිලෝමීටර් 7ක් දුරින් පිහිටි ස්ථානයක ය. පොලීසිය සඳහන් කළේ, ඔහු 45 හැවිරිදි තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. ඔහුගේ මළ සිරුර රැගෙන යාමට වනජීවී කණ්ඩායම සමග පැමිණි සෆාරි ජීප් රථ රියැදුරෙකු ද කොටියාගේ පහර කෑමට ලක් විය. බරපතළ තුවාල ලැබූ රියැදුරු අම්පාර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. එම අනතුර සිදු වූ බාගුරේ ප්‍රදේශය සංචාරකයින්ට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. නමුත් වනෝද්‍යානයේ සෙසු ප්‍රදේශ සංචාරකයින්ට විවෘතව පවතින බව වනෝද්‍යාන පාලක සිසිර කුමාර රත්නායක මහතා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, මෙවැනි අවස්ථාවකදී වනජීවී නිලධාරියෙකු යොදවන අතර මේ අවස්ථාවේ එවැනි අතපසුවීමක් සිදුවී ඇත්ද යන්න පරීක්ෂණ සිදු කෙරෙන බව ය.