10 දෙනෙකුට මරු කැඳ වූ මහියංගනයේ මාරක රිය අනතුර

සැවොම කම්පාවට පත් කරමින් මහියංගනයේ මාරක රිය අනතුරින් මිය ගිය 10 දෙනා අවසන් ගමන් යයි

by Staff writer 18-04-2019 | 9:21 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව, සෑම පැය තුනකටම වරක් රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යන රටක්. ඊයේ අලුයම මහියංගනය නගරයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මිය ගිය අතර, ඔවුන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි. පවුල් 3ක 10 දෙනෙකු අනතුරින් මිය ගිය අතර හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුරු ඥාතීන්ට භාර දීමෙන් පසු අද පෙරවරුවේ නිවෙස් වෙත රැගෙන ආවේ ය. විනෝද චාරිකාවක් සඳහා මොවුන් මඩකලපුවේ, මාමංගම් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් තිබුණේ ඉකුත් සඳුදායි. කොළඹ පදිංචි ඥාතියෙකුගේ නිවසට ගොස් ඔවුන්ගේ දරුවෙකු ද කැටිව මේ පිරිස නුවරඑළිය බලා පිටත්ව ගොස් තිබූ අතර නුවරඑළියේ සිට මඩකලපුව බලා එමින් සිටියදී රිය අනතුර සිදුව තිබිණි. එක් පවුලක මව, පියා සහ සිව් හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනෙකු ද, තවත් පවුලක මව, පියා සහ දියණිය ද අනතුරින් මිය ගිය අතර වෑන් රථය පැදවූ 19 හැවිරිදි තරුණයා ද මිය ගියේ ය. රැස්ව සිටි සියල්ලන් කම්පාවට පත් කරමින් ඔවුහු අද පස්වරුවේ අවසන් ගමන් ගියහ. ඊයේ අලුයම 1.30ට පමණ මහියංගනය ජාතික පාසල ඉදිරිපිට මෙම මාරක රිය අනතුර සිදු වූ අතර මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ, වෑන් රථය අධික වේගයෙන් මාර්ගයේ වැරදි දිශාවෙන් ධාවනය කර ඇති බව ය. බරපතළ තුවාල ලැබූ දැරියන් දෙදෙනෙකු මහියංගනය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහලට මාරු කර යැවුණු අතර ඔවුහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. තුවාල ලැබූ දැරියක අනතුරට පෙර වෑන් රථය තුළදී ගත් ඡායාරූපයක දැකිය හැක්කේ ඇය ආසන පටි පැළඳ සිටින ආකාරයයි. ආසන පටි පැළඳීම නිසා රිය අනතුරකදී සිදු විය හැකි හානිය අවම වන බව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දෙන කරුණකි මේ අතර මහියංගනයේ රිය අනතුරට අදාළ පෞද්ගලික බස් රථයේ රියැදුරුගේ රියැදුරු හැඳුනුම්පත අත්හිටුවා විධිමත් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ ය. අනතුරට වගකිව යුතු එක් පාර්ශවයක් බැවින් එම බස් රථයේ ධාවන කටයුතු ද මාසයකට අත්හිටුවා ඇති බව කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් ය.