රාජ‍්‍ය ආයතන 8කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවෙන් රාජ‍්‍ය ආයතන 8කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

by Staff writer 18-04-2019 | 8:24 PM
COLOMBO (News 1st) - විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ආයතන තුළට කඩිනමින් ඇතුළු වීමේදී අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම එම පහසුකම් සලසන ලෙස සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන 8කට අද නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා 2006 වසරේදී සම්මත කළ රෙගුලාසි අනුව කටයුතු කරන ලෙස ය. එවැනි පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සපයා නොදෙන ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා දඬුවම් දිය හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ ය. අද එම නියෝගය නිකුත් කෙරුණේ සමාජ සේවා අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, සංචාරක කටයුතු අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරියටයි. ආචාර්ය අජිත් සී.එස්. පෙරේරා මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කළ ප්‍රසන්න ජයවර්ධන, මූර්දු ප්‍රනාන්දු සහ විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල, පෙත්සම්කරුට රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස ද රජයට නියෝග කළේ ය.