මධුෂ් ගොනු කළ පෙත්සම ඩුබායි අධිකරණයේදී සලකා බැලේ

මෙරටට පිටුවහල් කිරීම වළක්වන්නැයි ඉල්ලා මධුෂ් ගොනු කළ පෙත්සම සලකා බැලේ

by Staff writer 18-04-2019 | 8:09 PM
COLOMBO (News 1st) - තමා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි නිකුත් කළ නියෝගයට එරෙහිව මාකඳුරේ මධුෂ් ගොනු කළ පෙත්සම අද ඩුබායි අධිකරණයේදී සලකා බැලිනි. ඒ පිළිබඳ තීන්දුව මැයි මස 02 වන දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. තමාට ජීවිත තර්ජන ඇති බව සහ තවත් කරුණු කිහිපයක් දක්වමින් මාකඳුරේ මධුෂ් අධිකරණයෙන් එම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ. මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරා මහතා මෙරටට පිටුවහල් කිරීමේ නියෝගය ද මේ වන විට නිකුත් කර ඇති අතර ඔහු තවදුරටත් රඳවා සිටින්නේ ඩුබායිහි මධ්‍යම බන්ධනාගාරයේයි. ඉදිරි දිනක අමල් පෙරේරා ද මෙරටට පිටුවහල් කෙරෙනු ඇතැයි සඳහන් ය. මධුෂ් සමග අත්අඩංගුවට ගැනුණු පිරිස අතරින් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකු වන පියල් පුෂ්පකුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නමැත්තන් අද අලුයම දිවයිනට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කෙරේ. පොලිස් මූලස්ථානය පැවසුවේ, මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නමැත්තා කංජිපානී ඉම්රාන්ගේ බිරිඳගේ සහෝදරියගේ පුතෙකු යැයි හඳුනාගෙන ඇති බව ය. ඊයේ 6 දෙනෙකු ඩුබායි රාජ්‍යයේ සිට දිවයිනට පිටුවහල් කර තිබූ අතර ප්‍රශ්න කිරීම්වලින් පසු 4 දෙනෙකු මුදාහැරුණු අතර දයාන් බුද්ධිම පෙරේරා නමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙන බව වාර්තා වෙයි. නිලාන් රොමේෂ් සමරසිංහ නමැත්තා අද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.