ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද ඇරඹෙයි

ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර අද ඇරඹෙයි

by Staff writer 18-04-2019 | 7:00 AM

News 1st - ඉන්දීය මහ මැතිවරණයේ දෙවන අදියර අද පැවැත්වීමට නියමිතවේ.

2019 මහ මැතිවරණයේ දෙවන අදියරේදී ඡන්දය ප්‍රකාශ කිරීම අද පැවැත්වෙන අතර ඒ හේතුවෙන් ඉන්දියාවේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මැතිවරණ කොට්ඨාස 92 තුළ ප්‍රාන්ත 13 ක ඡන්ද විමසීම් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. ජම්මු හා කාශ්මීර්, ශ්‍රිනගර් සහ ඩොඩා යන ප්‍රාන්තයන්හි ආරක්ෂාව දැඩි ලෙස තර කර ඇත. ඒ, පළමුවර ඡන්ද ප්‍රකාශයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම හේතුවෙනි. ඉන්දීය ලොග් සභා මැතිවරණයේ ඡන්ද විමසීමේ දෙවන අදියර අද දිනයේම අවසන් වනු ඇත. තෙවන අදියරේ ඡන්ද විමසීම අප්‍රේල් 23 වැනි දා ආරම්භ වීමට නියමිතයි. ලෝකයේ විශාලතම ඡන්ද විමසීම වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනි දා ආරම්භ විය. එය ප්‍රන්ත 29 ක අදියර හතක් යටතේ පැවැත්වෙනු ඇති. මිලියන 900 ක් එසේත් නැතිනම් කෝටි 90 ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මැතිවරණයට තම ඡන්දය ලබාදීමට නියමිතයි. ඡන්ද ගණන් කිරීමේ කටයුතු මැයි 23 වන දින සිදු කිරීමට නියමිත වනු ඇති.