by Staff writer 17-04-2019 | 10:44 PM
COLOMBO (News 1st) - අප්‍රේල් 13 වන දා උදෑසන 06 සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 42 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද උදෑසන 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු ගණන 12කි.
ඉන් 22 දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.
අනුරාධපුර, විලච්චිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව මදුරුපිටිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගියේ ය.
අප වාර්තාකරු පැවසුවේ, යතුරු පැදියක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ පසුපස ගමන් කළ 45 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ යතුරු පැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිගම, කොටවිල ප්‍රදේශයේ අද අලුයම යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් යතුරු පැදියේ ගමන් කළ පුදගලයෙකු මිය ගියේ ය.
ඒ අවස්ථාවේ යතුරු පැදියේ පුද්ගලයින් 3 දෙනෙකු ගමන් කරමින් සිටි බව පෙලීසිය පැවසුවේ ය.
අනතුරින් මිය ගොස් ඇත්තේ, වැලිගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
හැටන්, බට්ල්ගල පාලම අසළ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අනතුර සිදු වුණේ, ලොරියක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙනි.
යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ එඩේරගල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ තවත් අනතුරකින් 23 හැවිරිදි කාන්තාවක මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබුවේ ය.
පොලීසිය පැවසුවේ, යතුරු පැදි 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.
ඌව පරණගම, කර්ගිස්ත්වත්ත ප්‍රදේශයේදී බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
අනතුරත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොලීසිය පැවසුවේ, තත්ත්වය පාලනය කිරීමට ඌව පරණගම, වැලිමඩ සහ උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානවල නිලධාරීන් ද කැඳවීමට සිදු වූ බව ය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.