ඉන්දුනීසියාවේ ඡන්ද විමසීම ඇරඹේ

ඉන්දුනීසියාවේ ඡන්ද විමසීම ඇරඹේ

by Staff writer 17-04-2019 | 8:13 AM
COLOMBO (News 1st) : ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද ආරම්භ විය. මෙවර මැතිවරණයේ විශේෂත්වය වන්නේ, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එක් දිනක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මැතිවරණයේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 192කි. 20,000 ක් වන ජාතික සහ ප්‍රාදේශීය ආසන වෙනුවෙන් අපේක්ෂකයන් 245,000 ක් තරඟ වදිනු ඇති. මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සංඛ්‍යාව 16 ක් වන අතර ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 805,075කි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙරට වේලාවෙන් අලුයම 4.30ට ඇරඹි ඡන්ද විමසීම, අද පෙරවරු 11.30 ට අවසන් වීමට නියමිත බවයි. මෙවර ඉන්දුනීසියා ජනාධිපතිවරණ සටන පවතින්නේ , ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ හිටපු හමුදා ජෙනරාල්වරයකු වන ප්‍රබෝවෝ සුබියන්තෝ අතරයි . කෙසේ වෙතත් ජෝකෝ විඩෝඩෝ, මැතිවරණයෙන් ජයගැනීමට වැඩි ඉඩක් ඇතැයි මැතිවරණ මත විමසුම් අනාවරණ කළේ ය. මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය, ඉන්දුනීසියා මැතිවරණ කොමිසම ලබන මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය. ලොව විශාලතම මුස්ලිම් බැතිමතුන් පිරිස සහිත රට වන ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 260 ඉක්මවයි. ඡන්ද අපේක්ෂකයන්ගේ තොරතුරු සෙවූ ඡන්ද දායකයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයාම හේතුවෙන් පෙරේදා ඉන්දුනීසියා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ද බිඳ වැටීමකට ලක් විය.