Capital Gazette පුලිට්සර් ත්‍යාගය දිනාගනී

සේවකයින් 5ක් ඝාතනය වූ Capital Gazette පුලිට්සර් ත්‍යාගය දිනාගනී

by Sagarika Chathumali 16-04-2019 | 2:38 PM
COLOMBO (News 1st) : අමෙරිකාවේ මේරිලන්ඩ්හි Capital Gazette පුවත්පත මෙවර ජනසන්නිවේදනය සඳහා වන කීර්තිමත් පුලිට්සර් ත්‍යාගය දිනාගත්තේ ය. ඒ, සේවකයින් 5 දෙනෙකුට මරු කැඳවමින් ඔවුන්ගේ කාර්යාලය තුළ සිදුවූ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කාර්යමණ්ඩලය ධෛර්යමත්ව කටයුතු කළ ආකාරය අගය කරමිනි. කෙසේ වෙතත් සිය සාමාජිකයින් 5 දෙනෙකුගේ ජීවිත බිලිගත් මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තමන් ලද මෙම ත්‍යාගය සැමරීමට Capital Gazette පුවත්පත කිසිවක් සංවිධානය කර නොතිබිණ. 2018 වසරේ ජුනි මාසයේදී තුවක්කුකරුවකු Capital Gazette ප්‍රවෘත්ති කාර්යාලයට කඩාවැදී මෙම වෙඩි තැබීම සිදු කළ අතර එහිදී සේවකයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් ජෝන් මැක්නමාර්, වෙන්ඩි විනටර්ස්, රෙබේකා ස්මිත්, ජෙරල් ෆිෂ්මන් සහ රොබ් හියසාන්යන සේවක පිරිස ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුදා සිට සුපුරුදු පරිදි පුවත්පත පළ කිරීම ද විශේෂත්වයකි. මීට අමතරව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනාත්මක වාර්තාකරණය වෙනුවෙන් New York Times සහ Wall Street Journal පුවත්පත් දෙක ද මෙවර පුලිට්සර් සම්මානයට පාත්‍රවී තිබේ. The New York Times පුවත්පතට සම්මාන හිමි වූයේ, ට්‍රම්ප් පාලනයේ මූල්‍ය හා බදු පැහැර හැරීම් සහ සවිස්තරාත්මක වාර්තාකරණය සහ කතු වැකි ලිවීමට අදාළවයි. මේ අතර The Wall Street Journal වෙත ජාතික වාර්තාකරණය පිළිබඳ පුලිට්සර් සම්මානය හිමි වූයේ, ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය තුළදී හිටපු පෙම්වතියන් දෙදෙනෙකුට සිදුකළ බව කියන රහස් ගෙවීම් සම්බන්ධයෙන් සිදුකළ අනාවරණයට අදාළවයි. ඇනාපොලිස්හි Capital Gazette පුවත්පත විශේෂ පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ, ඇමරිකානු මාධ්‍ය ඉතිහාසයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාර පිළිබඳව ධෛර්ය සම්පන්නව සිදු කළ වාර්තාකරණයට අදාළවයි. මීට අමතරව වෙඩි තැබීම් සම්බන්ධයෙන් සිදුකළ පුවත් වාර්තාකරණයන්ට අදාළව තවත් දේශීය පුවත් පත් දෙකක් ද පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. The Pittsburgh Post-Gazette පුවත්පත සම්මානයෙන් පිදුම් ලැබුවේ, පසුගිය ඔක්තෝබර් මාසයේ පුද්ගලයින් 11 දෙනෙකුට මරු කැඳවමින් පෙන්සිල්වේනියාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයට අදාළව සිදුකළ වාර්තාකරණය අගයමිනි. 2018 පෙබරවාරි මාසයේදී 17 දෙනකුට මරු කැඳවමින් මාජරි ස්ටොමන්ඩ් ඩග්ලස් උසස් විදුහලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ වාර්තාකරණයට අදාළව දකුණු ෆ්ලොරීඩාවේ Sun-Sentinel පුවත්පත ද සම්මානයෙන් පිදුම් ලැබී ය. මහජන සේවා සම්මානය ඔවුන්ට හිමි වූයේ, වෙඩි ප්‍රහාරයෙන් පසු සහ පෙර පාසල් නීති බලගන්වන ආයතනවල ආසර්ථක ක්‍රියා කලාපයන් පිළිබඳ සිදුකළ ආනාවරණයන්ට අදාළවයි. ඡායාරූප මාධ්‍යකරණය සඳහා වන පුලිට්සර් සම්මානය හිමි වූයේ, මෙවර The Washington Post පුවත්පතටයි. මීට අමතරව රොයිටර්ස් පුවත් සේවයට ද සම්මානයක් හිමිවූ අතර ඒ මියන්මාරයේ රකීන් ප්‍රාන්තයේ රොහින්යාවරුන් 10 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනාත්මක වාර්තාකරණයට අදාළවයි.