දිගන්නෑව ගම්මානයේ ජනතාව සමග නිව්ස්ෆස්ට් අවුරුදු සමරයි

by Staff writer 16-04-2019 | 10:26 PM
COLOMBO (News 1st) - කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කොටවෙහෙර, දිගන්නෑව ගම්මානයේ ජනතාව සමග නිව්ස්ෆස්ට් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවේ ය. මෙවර අවුරුදු උත්සවය නම් කෙරුණේ, සත්කෝරළයට අවුරුදු, නිව්ස්ෆස්ට් අවුරුදු උදානය ලෙසයි. සරුසාර කෙත් බිම්වලින් සපිරි දිගන්නෑව, දිරිය ගම්වැසියන්ගේ ශක්තියෙන් පෝෂණය වන වයඹ පළාතේ පිහිටි අඩු පහසුකම් සහිත ගම්මානයකි. කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්වලට අතරමැදිව පිහිටි මෙම ගම්මානයේ ජනතාවට නිරන්තරව පීඩා විඳින්නට සිදුව ඇත්තේ වන අලීන්ගෙනි. අවම ගමනා ගමන පහසුකම් ඇති මේ ගම්මානයේ ජනතාව සමග නිව්ස්ෆස්ට් අද සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරුවේ ය. ගම්මානයක සිරි විදහා දක්වන අයුරින් කොටවෙහෙර, දිගන්නෑව ශ්‍රී දේවමිත්ත ක්‍රීඩාංගණයේදී මේ අවුරුදු උත්සවය පැවැත්විණි. ඒ, දිගැන්නෑව, කුඹුක්වැව, නුගන්නෝරුව, ගුරුපොකුණ, නබැඩෑව, දෙමටෑව, කොටවෙහෙවර ඇතුළු ගම්මාන 20ක පමණ ජනතාවගේ සහභාගීත්වයෙනි. සත්කෝරළයට අවුරුදු අද උදෑසන ආරම්භ වූයේ විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයෙනි. කිලෝමීටර් 115ක දුරකින් යුතු වූ පාපැදි තරගයේ ජය යුද හමුදාවේ හිරාන් පසිඳුට හිමි විය. කාන්තා සහ පිරිමි මැරතන් තරග ජය ගත්තේ අශ්මිකා හේරත් සහ පී.එම්.කේ.ජී. තෙන්නකෝන්. සමාරම්භක උත්සවය පැවැත්වුණේ, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් සහ එස්.සී වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. නිකවැරටිය පොලිස් අධිකාරීවරයා ඇතුළු ආරාධිතයින් රැසක් ඊට එක්ව සිටියහ. පොල් අතු විවීම, කොට්ටා පොර, ග්‍රීස් ගහේ නැගීම, බිත්තර ඇල්ලීම, කණා මුටිටි බිඳීම ඇතුළු තරග 40කට අධික සංඛ්‍යාවකින් මෙවර අවුරුදු උත්සවය සමන්විත විය. දේවමිත්ත ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ 'එස්ලෝන් කැවිලි ගම' අවුරුදු උත්සවයට එක්වූ කාගෙත් සිත් දිනා ගත් ස්ථානයකි. අවුරුදු කැවිලි සෑදීමේ තරගයකින් ද මෙවර නිව්ස්ෆස්ට් අවුරුදු උදානය සමන්විත වූ අතර ජව සම්පන්න තරුණයින් වෙනුවෙන් වොලිබෝල් තරගාවලියක් ද දවස පුරා පැවැත්විණි. දරුවන් වෙනුවෙන් සංවිධාන කළ තරග රැසක්ම පැවති අතර සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම ඒ අතරින් කාගෙත් සිත් දිනා ගත් අවස්ථාවක් බවට පත් විය. මෙවර අවුරුදු උත්සවයේ අවසන් තරගය වූයේ, අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයයි. නිව්ස්ෆස්ට් හා දිගැන්නෑව තරුණ එකමුතුව එක්ව සංවිධාන කළ මෙම අවුරුදු උළෙලේ මෙවර අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳුවේ නිකවැරටියේ සිට පැමිණි අභිෂේකා ෂෙහාරියි. හලාවත සිට පැමිණි සඳරුවන් මධුසංඛ අවුරුදු කුමරා ලෙස කිරුළු පැළඳුවේ ය.