ඓතිහාසික Notre-Dame දේවස්ථානයේ ගින්නක්

ඓතිහාසික Notre-Dame දේවස්ථානයේ ගින්නක්

by Staff writer 16-04-2019 | 6:24 AM
COLOMBO (News 1st) : ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ විශාල ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්නෙන් , මංසලකුණක් මෙන්ම පැරීසියේ සුන්දරත්වය ලොවට පෙන්නුම් කළ Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි . කෙසේ වෙතත් ගින්නෙන් මෙම ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව ප්‍රංශ බලධාරීහු සඳහන් කළහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ පස්වරුවේ හටගත් ගින්න , වසර 850 ක් පැරණි ගොඩනැගිල්ල පුරා පැතිර ගිය බවයි. ගින්න නිවීමට යෙදවූ ගිනිනිවීමේ භටයන් 400 න් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර දේවස්ථානයේ අභ්‍යන්තර ව්‍යුහයන් කඩාවැටීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි, ප්‍රංශ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධානී ජීන් ක්ලෝඩ් ගැලට් සඳහන් කළේ ය. පැරිස් නුවර ජනතාව සහ සංචාරකයින් , සේන් නදිය හරහා ඉදිකළ පාලම් මතට වී අදහාගත නොහැකි මෙම සිදුවීම දෙස දෑස් අයා බලාසිටි බව සඳහන් ය. ලෝක නායකයන් මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවට සිය ශෝකය පළ කළ අතර ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, මෙය ප්‍රංශ වැසියන්ගෙන් , කොටසක් ගිනි ගෙන දැවෙනු බලාසිටීම හා සමාන බවයි . දේවස්ථානය යළි ගොඩනැගීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. Notre-Dame ප්‍රධාන දේවස්ථානය ප්‍රංශයේ සහ යුරෝපීය සංස්කෘතියේ සංකේතයක් බව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් කියා සිටියා ය . වතිකානය කියා සිටියේ මෙම දේවස්ථානය , ප්‍රංශයේ මෙන්ම සමස්ත ලෝකයේ ම ක්‍රිස්තියානි ආගමේ සංකේතයක් බවයි . ගින්න හටගත් අවස්ථාවේ දේවස්ථානය තුළ තිබූ සිතුවම් ඇතුළු කලා නිර්මාණ විශාල ප්‍රමාණයෙන්,  කොටසක් පමණක් බේරාගැනීමට හැකිවූ බව පැරිස් නගරාධිපති ඈන් හිඩල්ගෝ සඳහන් කළේ ය. ලෝක උරුමයක් වන Notre-Dame ප්‍රධාන දේවස්ථානය ඉදිකෙරුණේ 12 වැනි ශත වර්ෂයේදීයි. ප්‍රංශ ගොතික් දේවස්ථාන ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන නිර්මාණයක් ලෙස සැලකෙන Notre-Dame දේවස්ථානය, වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් නැරඹීමට පැමිණෙන ස්ථානයකි. කෙසේවෙතත් Notre-Dame ප්‍රධාන දේවස්ථානයේ ගින්න හටගැනීමට හේතුව මෙතෙක් හෙළිව නැති නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දේවස්ථානයේ අලුත්වැඩියා කිරීම් කටයුතු මෙයට හේතුවන්නට ඇතැයි සැක පළ කරන බවයි.