අවුරුදු නිවාඩුවෙන් පසුව යළිත් විදුලිය අර්බුදයකට මුහුණ දීමට සිදු වෙයි ද?

by Staff writer 16-04-2019 | 8:43 PM
COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයකට වැසි ලැබුණත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවලට තවමත් ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නොමැත. අවුරුදු නිවාඩුවෙන් පසුව යළිත් විදුලිය අර්බුදයකට මුහුණ දීමට සිදු වෙයි ද? ජල විදුලි උත්පාදනය තවදුරටත් සීමා වීම නිසා අවුරුදු නිවාඩුව අවසන් වී නැවතත් කර්මාන්ත ශාලා හා අනෙකුත් වැඩ බිම් ආරම්භ වන අප්‍රේල් 22 වන දායින් පසුව විදුලි සැපයුම සම්බන්ධයෙන් අභියෝගයක් මතු වනු ඇතැයි ඇතැම් පාර්ශව සැක මතු කරයි. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මේ මස අවසන් වීමට පෙර කොන්ත්‍රාත් අත්සන් කරන ලද පෞද්ගලික තාප බලාගාර තුනකින් මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් වීමට නියමිත බව ය. නමුත් පවතින ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ප්‍රමාණවත් වේදැයි සැක සහිත බව පැවසූ එම නිලධාරියා පෙන්වා දුන්නේ, මීට පෙර පැවති කාලයට වඩා අඩු කාලයක විදුලි කප්පාදුවක් කිරීමට ඉඩ ඇති බව ය. නමුත් එවැනි තත්ත්වයක් මතු නොවන බව අප කළ විමසීමකදී අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කළේ ය.