කන්තලේ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 15-04-2019 | 4:27 PM

COLOMBO (News 1st) - කන්තලේ වැවේ දිය නාමින් සිටි පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරු 6.30 ට පමණ කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසකට බීමත්ව පැමිණ වීදුරු බෝතල්වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම හා කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. දිය නාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ ඥාතීන් ය. පහරදීම දැනගත් විගස එම පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ද එම ස්ථානයට ගොස් ඇති අතර ඔවුන්ට ද එම පිරිස පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පහරදීමෙන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිශ්ශංක ජයලත් කෝදාගොඩ නැමැති 42 හැවිරිදි කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයෙකි. අනෙක් සැකකරු කන්තලේ ධීවරගම පාරේ පදිංචි 24 හැවිරිදි අයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් දෙදෙනාට අමතරව තව ත් පිරිසක් මෙම පහරදීමට පැමිණ ඇති බවයි.