by Staff writer 15-04-2019 | 7:31 PM
COLOMBO (News 1st) - වී අස්වනු සහ සහතික මිල කන්නය නිමාවී අලුත් අවුරුද්දක් උදා වූවද තවමත් නොවිසඳුණු ගැටලුවක් පිළිබඳ අප අවධානය යොමු කළෙමු.
අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ, රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් තම ජීවිත මේ වනවිට කබලෙන් ලිපට වැටී ඇති බවයි.
අවසානයේ ගොවීන්ට සිදු ව ඇත්තේ, රජය ප්‍රකාශයට පත් කළ සහතික මිල අමතක කර අඩු මිලට සිය වී අස්වැන්න පෞද්ගලික වෙළෙඳුන්ට අළෙවි කිරීමටයි.
ගලෙන්බිඳුණුවැව ගොවීන්ගේ ගැටලුව ඒ ආකාර වෙද්දී පුත්තලම, කරුවලගස්වැව දේශීය වී වගා කළ ගොවීන්ට සිදු ව ඇත්තේ, සිය අස්වැන්න නිවෙස් තුළ ගබඩා කර බලා සිටීමටයි.
දේශිය වී වගාව ප්‍රවර්ධනයේදී බලධාරීන් හා නිලධාරීන් ලබාදුන් පොරොන්දු සියල්ල කඩවීම හමුවේ මේ ගොවීන්ට අලුත් අවුරුදු සිරියත් අහිමි වී අවසන් ය.
ගොවීන්ගේ වී තොග නිවෙස්වල ගොඩ ගැසෙද්දී ඊට වගකිව යුතු බලධාරීන්ගේ සාක්කු පිරවෙන බවට වූ අනාවරණයකි මේ...
වී සහ සහල් මිලදී ගැනීම, අළෙවි කිරීම, සැපයීම හා බෙදා හැරීම පැවරෙන මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතනය වන්නේ වී අළෙවි මණ්ඩලයයි.
නමුත්, මෙරට වාර්ෂික අස්වැන්නෙන් වී අළෙවි මණ්ඩලය මේ වනවිටත් මිලදී ගන්නේ 3% කටත් වඩා අඩු ප්රතිශතයකි.
2018 මැයි 14 වන දින වනවිට මණ්ඩලය සතුව කන්න 04 කට අයත් වී තොග කිලෝ 556,874 ක් අළෙවි නොකර ගබඩා කර රඳවා තබා ඇත්තේ වී මිලදී ගැනීම හා අළෙවි කිරීම සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
එහි අවසන් ප්‍රතිඵලය බවට පත් ව ඇත්තේ, වී අළෙවි මණ්ඩලයේ බරත් මෙරට බදු ගෙවන ජනතාව මත පැටවීමයි.
මන්දයත්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දත්තවලට අනූව 2017 වසරේ අවසානය වනවිට වී අළෙවි මණ්ඩලය මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුවට හා මහජන බැංකුවට ගෙවීමට තිබූ ණය මුදල මිලියන 17,965.3 ක්. ණය පොළිය මිලියන 623.9 කි.
නිසි ප්‍රමිතියෙන් ගබඩා පවත්වා නොගැනීම හේතුවෙන් පසුගිය ජුනි හා ජුලි මාසවල පමණක් හානි වූ වී තොග ප්‍රමාණය මෙට්‍රික්ටොන් 192.46 කි.
එපමණක් නොව, ගෙවුණු 6 වසර තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වී අළෙවි මණ්ඩලයේ හා විෂයභාර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ නියෝග මත වී තොග අළෙවි කිරීම හේතුවෙන් රජයට සිදු ව ඇති පාඩුව මිලියන 4100 කට අධිකයි.
සත්ත්ව ආහාර සඳහා වී තොග අළෙවිය හරහා ද රජයට සිදු ව ඇති පාඩුව සැමගේ අවධානය යොමුවිය යුත්තකි.
2014 /15 යල මහ කන්නවලදී එලෙස පෞද්ගලික සමාගම් 9 කට වී තොග අළෙවිය හරහා මිලියන 2483.61 ක පාඩුවක් රජයට සිදු ව ඇති අතර මෙන්ඩිස් සහ සමාගමට වී අළෙවි කිරීමෙන් මණ්ඩලයට සිදු ව ඇති අලාභය මිලියන 5.95 කි.
මෙරට වී තොග ඒ ආකාරයට දේශපාලන බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ මෙන්ම පෞද්ගලික සමාගම්වල ග්රහනයට නතු වෙද්දී, ඒ පිළිබඳව සොයා බලනවා වෙනුවට රජය හා පෞද්ගලික අංශය සහල් ආනයනය කර ඇති බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.
පසුගිය සමයේ රට තුළ කෘතිම සහල් හිඟයක් මතු කිරීමට ඇතැම් පාර්ශව වංචනික අයුරින් උත්සහ කළේ ද මෙවන් පසුබිමක බව මෙම කරුණුවලින් තහවුරු වේ.
මේ ආකාරයේ තීන්දු තීරණ නිසා පසුගිය වසර කිහිපය තුළ වී අළෙවි මණ්ඩලයේ සිදු ව ඇති අලාභය මිලියන 7889.77ක් වූවත්, එවන් තීරණ ගත් හා තීරණ ක්‍රියාත්මක කරන ලද පාර්ශවයන් සම්බන්ධයෙන් මෙතෙක් ගත් පියවරක් නොමැතිවීම කණගාටුවට කරුණකි.