සූඩානයට යළි සිවිල් පාලනයක් ?

සූඩානයට යළි සිවිල් පාලනයක් ගොඩනගන බවට නව හමුදා කවුන්සිල ප්‍රධානියාගෙන් පොරොන්දුවක්...

by Staff writer 14-04-2019 | 9:48 AM

News 1st - හමුදා පාලනය අවසන් කර යළි සිවිල් පාලනයක් ගොඩනගන බවට සූඩාන නව ආරක්ෂ ලේකම් සහ හමුදා කවුන්සිල ප්‍රධානී අබ්දෙල් ෆටා අල් බුර්හන් පවසයි.

ඒ, සිවිල් පාලනයක් ඉල්ලා අඛණ්ඩ ජනතා විරෝධතා පැවැත්වෙන පසුබිමකදී ය. වසර දෙකක සංක්‍රාන්ති කාලයකින් පසු මැතිවරණයක් පවත්වා සිවිල් පාලනයක් ගොඩනගන බව ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රථම වරට ජනතාව අමතමිනි. ඇඳිරි නීතිය ඉවත් කරන බව ද එහිදී ඔහු ප්‍රකාශයට පත් කළේ ය. ඊට අමතරව සියලු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදෙන බව ද සූඩාන නව හමුදා කවුන්සිල ප්‍රධානියා පැවසුවේ ය. තිස්වසරක ඒකාධිපති පාලනයක් ගෙන ගිය සූඩාන ජනපති ඕමාර් අල් බෂීර් පසුගිය දා බලයෙන් පහකෙරුණේ හමුදා කුමන්ත්‍රණයකිනි. ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමග ආරක්ෂක අමාත්‍ය හා හමුදා කවුන්සිලයේ ප්‍රධානී අවාඩ් ඉබන් අවුෆ් සූඩානයේ පාලනය සියතට ගත්තේ ය. එහෙත් දිනක පමණ කාලයක් බලයේ රැඳී සිටීමෙන් අනතුරුව ඔහු ධූරයෙන් ඉවත් විය.