ජනපති හා අගමැතිගෙන් අවුරුද්දට සුබ පැතුම් පණිවුඩ

ජනපති හා අගමැතිගෙන් අලුත් අවුරුද්දට සුබ පැතුම් පණිවුඩ

by Staff writer 14-04-2019 | 7:24 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද යනු මිනිසා පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ උළෙලක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, අතීතයේ සිටම සොබාදහම දේවත්වයෙන් සැලකීම සාමාන්‍ය ජනතාවගේ මෙන් ම රජුන්ගේ ද පිළිවෙත වූ බවයි. අලුත් අවුරුද්ද නැමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙඳපොළ යාන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීමට මෙවර සියලුදෙනාගේ අවධානය යොමු විය යුතු බව ද ජනාධිපතිතුමා පවසයි. මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විඳිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට මෙම අලුත් අවුරුද්දේ අධිෂ්ඨානයෙන් යුතුව පෙළ ගැසෙන්නැයි ජනාධිපතිතුමා සියලු ශ්‍රී ලාංකිකයින්ට යෝජනා කරයි. සොබාදහම අලුත්වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩගැන්වෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්ද ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමිනි. අලුත් අවුරුද්දේ අවුරුදු සිරිත් විරිත් සහ එහි අරුත් වටහාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීම සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කරන්නැයි අග්‍රාමාත්‍යවරයා අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන් කරයි. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද අලුත් අවුද්ද වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉසුරුමත් සංස්කෘතික උරුමය ලෝකය සමග හුවාමාරු කර ගැනීමට හැකි වේදිකාවක් නිර්මාණය කරදෙන අලුත් අවුරුද්ද එකිනෙකා අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා ලබන ලෙසයි. ආකල්පමය පරිවර්ථනයක් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ඇති කිරීමට අනෙකාගෙන් බලාපොරොත්තුවීමට පෙර ඔබෙන් ආරම්භ කරන ලෙස ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවඩුයේ සඳහන් විය.