සේනා නිසා අලුත් අවුරුද්ද අහිමි වූ අම්පාරේ බඩ ඉරිඟු ගොවීන්...

by Staff writer 13-04-2019 | 9:25 PM
COLOMBO (News 1st) - අම්පාරේ බඩ ඉරිඟු ගොවීන්ට මෙවර අලුත් අවුරුදු සැමරීම සිහිනයක් බවට පත්ව තිබේ. ඒ, තම බඩ ඉරිඟු වගාවන් විනාශයට පත් කළ සේනා දළඹු උවදුර හේතුවෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ දමන කලාපයේ ජනතාව පසුගිය කන්නයේ අක්කර 12500ක පමණ බඩ ඉරිඟු වගා කර තිබුණේ බලාපොරොත්තු රැසක් සිතේ ඇතිවයි. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද දරුවන් සමග ඉහළින් සැමරීම ද ඒ බලාපොරොත්තු අතරින් එකක්. තමන්ගේ සියලු ධන සම්පත් වියදම් කර වගාව රැක ගැනීමට ඔවුන් වෙහෙසුනේ තමන්ට ඇති එකම ජීවනෝපාය මේ වගාව නිසායි. නමුත් වගාව සම්පූර්ණයෙන් විනාශ කර ඇති සේනා දළඹු උවදුර මේ දිරිය මිනිසුන්ගේ සියලු බලාපොරොත්තු සුන් කර අවසන්. සේනා කළ හානියට සහනයක් ලෙස රජය ලබා දීමට පොරොන්දු වූ වන්දි මුදල් මේ ගම්මුන්ගේ අලුත් අවුරුදු බලාපොරොත්තුව බවට පත් වුණේ, ඒ හරහා වෙන කිසිවක් නැතත් නැකතට කිරි බතක් හෝ ඉදවා ගන්නට එම මුදල් ප්‍රමාණවත් වේවි යන සිතුවිල්ල නිසයි. නමුත්, එයත් දැන් බොඳ වූ සිහිනයක් වී අවසන්. "අපි හිතුවා අවුරුද්දට දවසකට හරි කලින් මේ වන්දි මුදල් ටික ගෙවයි කියලා. හැබැයි මේ වෙන කොට ඒ කිසිදු ගොවියෙකුට ගෙව්වේ නෑ. ගොවියෝ මේ වෙන කොට පිරිමි කට්ටිය හැංගිලා ඉන්නේ. මොකද ණය කාරයන්ගෙන් බේරෙන්න බැරුව." තමන් මුහුණ පා ඇති ගැටලුව කුමක් වුවත්, තම දරුවන්ට හැකි උපරිමය ලබා දීම හැම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් විනාශ වී ගිය වගාව තුළ ඉතිරිව ඇති බඩ ඉරිඟු කරල් සොයන මවක් ද අපට හමු විය.