රේගු බදුවලින් මිදී, රත්‍රන් මිශ්‍රිත පස් අපනයනය කිරීමේ ජාවාරමක සුල මුල

by Staff writer 13-04-2019 | 8:15 PM
COLOMBO (News 1st) - රත්‍රන් මිශ්‍රිත පස් අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව නිව්ස්ෆස්ට් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අනාවරණයක් සිදු කළේ ය. එහිදී අප අනාවරණය කළ තොරතුරු මේ වන විට විශේෂ විගණන වාර්තාවකින් ද තහවුරු වී තිබේ. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනවලින් ඉවතලන රත්‍රන් මිශ්‍රිත සුන්බුන් පස් ලෙස දක්වමින් එම පස්වල අඩංගු රත්‍රන් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික සමාගම් 3ක් රත්‍රන් මිශ්‍ර පස් අපනයනයට සැලසුම් කර ඇති බවත්, රේගු පරීක්ෂාවේදී හසු වූ එවන් රත්‍රන් මිශ්‍ර පස් සහිත කන්ටේනර් තොගයක් රේගු භාරයේ පවතින බවත් නිව්ස්ෆස්ට් වාර්තා කළේ පසුගිය අගෝස්තු මාසයේ 4 වන දා ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණනයේ වාර්තාව මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ. අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, මෙකී ද්‍රව්‍ය පැටවූ බහාලුම් 51ක් මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව හරහා විදේශ රටවලට අපනයනය කර ඇති බව ය. අපනයනය කරමින් පැවති බහාලුම් 23ක් 2017 වසරේ ඔක්තෝබර් මාසයේදී රේගු භාරයට ගැනුණේ, නීති විරෝධී ලෙස රන් කැබලි මිශ්‍ර පස් විදේශගත කිරීමේ චෝදනාව මතයි. ඉන් බහාලුම් 19ක් තවදුරටත් රේගු භාරයේ පවතී. රත්‍රන් කර්මාන්තයේදී ඉවතලන අපද්‍රව්‍යවල අඩංගු රත්‍රන් ප්‍රමාණයන්ට වඩා රත්‍රන් ප්‍රමාණයක් අපනයනයට ඉදිරිපත් කළ රත්‍රන්වල අන්තර්ගත බවට ද විගණනයේදී නිරීක්ෂණය වී ඇති අතර, අපනයනකරුවන් පස්වලට රත්‍රන් මිශ්‍ර කර ඇති බව ද සඳහන් ය. ඊට හේතු වී ඇත්තේ, ඒ හරහා රේගු ගාස්තු ගෙවීමකින් තොරව මේවා අපනයනයට මග සැලසීමයි. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනවලින් ඉවතලන රත්‍රන් මිශ්‍රිත සුන්බුන් පස් ඉන්දියාවට පමණක් අපනයනයට පෞද්ගලික සමාගමක් ලබා ගත් බලපත්‍රයක් භාවිත කරමින් ඔවුන් රත්‍රන් මිශ්‍රිත පස් බහාලුම් 51ක් ඉන්දියාව, චීනය, කොරියාව, තායිලන්තය හා සිංගප්පූරුව යන රටවලට අපනයනය කර තිබේ. මේවායේ නියැදි ලබා ගෙන රාජ්‍ය ආයතන ලවා පරීක්ෂා කරවා ගැනීමටත්, මෙවැනි ද්‍රව්‍ය අපනයනය කිරීමේදී විශේෂිත අවසර සහ බලපත්‍ර ලබා ගත යුතු ද යන්න පිළිබඳ සොයා බැලීමට රේගුව කටයුතු කර නොමැති බව ද විගණන වාර්තාවේ සඳහන් ය. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා නිව්ස්ෆස්ට් සමග පැවසුවේ, දැනට රේගු භාරයේ පවතින බහාලුම්වල කළ නියැදි පරීක්ෂාවේදී අවම වශයෙන් රුපියල් මිලියන 150කට අධික වටිනා කමින් යුත් රත්‍රන් අදාළ බහාලුම්වල ඇති බව ය. මේ අනුව විගණකාධිපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිගමන කිහිපයක් ද ඉදිරිපත් කර තිබේ. විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අදාළ රත්‍රන් මිශ්‍රිත පස්වල ඇත්තේ ස්වර්ණාභරණ නිෂ්පාදකයින් ඉවත දැමූ රත්‍රන් ද?, මෙරට පස්වල සත්‍ය ලෙසම රත්‍රන් තිබෙනවා ද? නැත්නම් විදේශ රටවලට රත්‍රන් අපනයනය කිරීමට යොදා ගන්නා වෙනත් මාර්ගයක් ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව ය. විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වගකිව යුතු අංශවල වගකීම වනවා සේම, මීට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්.