ඩුබායිහි මෙරට ගෘහ සේවිකාවකට මාස 6ක සිර දඬුවමක්

ඩුබායිහි වාහනයක ඇති වූ ගින්නක් සම්බන්ධයෙන් මෙරට ගෘහ සේවිකාවකට මාස 6ක සිර දඬුවමක්

by Staff writer 13-04-2019 | 10:12 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයක් මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ. අදාළ නඩු තීන්දුවට හේතු වී ඇත්තේ, ගෘහ සේවිකාව සේවය කළ නිවසේ ස්වාමියාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තබන ලද සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි. නඩු විභාගයේදී එම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. අධිකරණය හමුවේ ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, මෝටර් රථයෙන් දුමාරයක් පිටවනු තමන් දුටු බවත්, තමන් එය නිවා දැමීමට උත්සහ කළ බවත් ය. නමුත් ඒ අසළ ජලය නොමැති වීම හේතුවෙන් එම උත්සහය අසාර්ථක වූ බව පවසා ඇති ශ්‍රී ලාංකික කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ, මෝටර් රථයේ තිබූ සුවඳ විලවුන් බෝතලයකින් ගින්න හටගන්නට ඇති බව ය. කෙසේ වෙතත් අදාළ සිද්ධියට ඇය වරදකරු වීම හේතුවෙන් ඇයට මාස 6ක සිර දඬුවමක් නියම වී තිබේ. ඇගේ සිර දඬුවම අවසන් වීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇතැයි ඩුබායි මාධ්‍ය අනාවරණය කළේ ය. විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මේ පිළිබඳව අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අද දින රාජකාරී දිනයක් නොවන බැවින් මේ පිළිබඳ තොරතුරු තමන් සතුව නොමැති බව ය.