ජීවිත අවදානමක් අත දරන් අවුරුදු වෙළෙඳාම් කරන පමුණුව වෙළෙන්දන්

by Staff writer 13-04-2019 | 8:35 PM
COLOMBO (News 1st) - තම ආර්ථික තත්ත්වය කුමක් වුවත් තම අඹු දරුවන්ට මේ අලුත් අවුරුද්දේ හැකි හොඳ ම දේ ලබා දීම හැම අම්මා තාත්තා කෙනෙකුගේම බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් ජීවිත අවදානමක් අත දරන් වෙළඳාමේ යෙදුණු වෙළෙඳුන් පිරිසක් අද මහරගමදී අප කැමරාවේ සටහන් විය. කොටුව - අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය මහරගම නගරය මධ්‍යයෙන් වැටී ඇත්තේ ඇඳුම් හා රෙදිපිළිවලට ප්‍රසිද්ධ පමුණුව ප්‍රදේශය හරහායි. නිමි ඇඳුම් වෙළෙඳාමේ නිරත වන බොහෝ දෙනෙකු එහි පැමිණ වෙළෙඳාමේ නිරත වන අතර ඔවුන් නිසා දුම්රිය මාර්ගය අවහිර වන්නේ නිරායාසයෙනි. දුම්රිය පැමිණෙන වේලාව හොඳින් දන්නා මොවුන් එම වේලාවට වෙළඳ සල පිටින්ම මාර්ගයෙන් ඉවතට ගැනීමත්, දුම්රිය ධාවනය වූ සැනින් නැවතත් එම මාර්ගයට පිවිස පෙර පරිදි වෙළෙඳාම ආරම්භ කිරීමත් සුලභ දසුනකි. තමන්ට ඇති අවදානම ද නොතකමින් මේ පිරිස තම භාණ්ඩ අලෙවි කර ගැනීමේ නොනිමි අරගලයක නිරතව සිටින්නේ අඹු දරුවන් පෝෂණය කර ගන්නා ජීවිකාව එය නිසයි. නමුත් මෙය අද ඊයේක පටන් සිදු වන්නක් නොවේ. මේ අවදානම සහිත ජීවන අරගලය පිළිබඳව නිව්ස්ෆස්ට් 2016 වසරේදීත් මේ ආකාරයෙන්ම අනාවරණයක් සිදු කළේ ය. මහරගමට පැමිණෙන පාරිභෝගිකයින්ගේ හා වෙළෙඳුන්ගේ ජීවිත සුරක්ෂිත කරමින් මේ වෙළෙඳුන්ට නිසි වෙළෙඳපොළක් සැකසීම මහජන නියෝජිතයින්ගේ වගකීම නොවන්නේ ද?