සාමය රකින්නැයි ශුද්ධෝත්තම පියතුමන් අයැදියි

සාමය රකින්නැයි ශුද්ධෝත්තම පියතුමන් දකුණු සුඩාන නායකයින්ගේ දෙපා සිඹ අයැදියි

by Staff writer 12-04-2019 | 1:00 PM
(News 1st) - අඛණ්ඩව සාමය පවත්වාගෙන යන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් දකුණු සුඩාන ජනාධිපතිවරයාගෙන් සහ කැරළි කණ්ඩායම් නායකයාගේ දෙපා සිඹ ඉල්ලීමක් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර්, කැරළි කණ්ඩායම් නායක රීක් මකා සහ එරට ක්‍රිස්තියානි ආගමික ප්‍රධානීන් පිරිසක් වතිකානයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ එම ඉල්ලීම කර ඇති බව ය. 82 හැවිරිදි ශුද්ධෝත්තම පියතුමන් තම දෙපා සිඹ අදාළ ඉල්ලීම කරන අවස්ථාවට ඔවුන් සංවේදී සිතින් මුහුණ දෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී ශුද්ධෝත්තම පියතුමන් පවසන්නේ, සාමය රකින්නැයි තමන් සහෝදරයෙකු ලෙස ඉල්ලා සිටින බව ය. 2013 වසරේ සිට කැරළි කණ්ඩායම් සහ සුඩාන රජයේ හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4කට අධික ය. පසුගිය වසර අවසානයේ දෙපාර්ශවය අතර සාම ගිවිසුමකට අත්සන් තැබුණේ යුද වැදීම නතර කරන බවට එළැඹි එකඟතාවක් අනුව ය.