වසර 140 ක ඉතිහාසයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය මේ දිනවල....

by Staff writer 12-04-2019 | 10:18 PM

COLOMBO (News 1st) - වසර 140 කට පසු ශ්‍රී ලංකාවේ උෂ්ණාධිකම කාලගුණ තත්ත්වය මේ දිනවල වාර්තා වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

වියලි කාලගුණය නිසා ප්‍රදේශ රැසක පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ දෙදහසකට අධිකයි. උතුරුමැද හා වයඹ පළාත්වලටත්, හම්බන්තොට, මොණරාගල, ගම්පහ, ත්‍රිකුණාමලය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් මේ දිනවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ, කාලගුණ දත්ත නීරීක්ෂණය කිරීමේදී මේ තත්ත්වය සනාථ වන බවයි. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටමේ අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. මේ වන විට අභය වැවෙහි 55% ක්, හුරුළු වැවෙහි 75 % ත් සහ මහනකදරාව වැවෙහි 71% ක් ලෙස ජල ධාරිතා පවති. මහවිලච්චිය නච්චාදූව හා රාජාංගනය ජලාශවල ජල මට්ටම පවතින්නේ සාමාන්‍ය තත්ත්වයකය. තිසාවැවේ ජල මට්ටම 47% කි. බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 6 ම 75% කට වැඩි ජල ධාරිතාවක් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ හතරෙහිම ජල ධාරිතාව පවතින්නේ 60% ක ප්‍රතිශතයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 11 ක 80% කට වඩා ජල ධාරිතාවක් ඇති බවත් මොණරාගල දිස්‍ත්‍රික්කයේ 50% කට වඩා අඩු ජල ධාරිතාවක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසුවේ ය. ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලි පද්ධතියට එක්කෙරෙන ධාරිතාව ද සැලකිය යුතු මට්ටමකින් පහළගොස් තිබේ. මේ අතර ඉදිරි කාලය තුළ මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, මද වැසි හේතුවෙන් උෂ්ණත්වය යම්තාක් දුරට පාලනය වනු ඇති බවයි.