දේශගුණික විපර්යාසවලට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීමට අ. ඩොලර් මිලියන 125 ක ණය මුදලක්

by Staff writer 12-04-2019 | 7:38 PM

COLOMBO (News 1st) - නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසවලට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාවය පළ කර තිබේ.

අදාළ ණය ගිවිසුමට අද අත්සන් තැබුණේ, අමෙරිකාවේ වොෂින්ටන් නුවරදීයි. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපීය උපසභාපති හාට්විග් ෂෆර් මෙම ණය ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ, ලබන 14 වැනි දා දක්වා අමෙරිකාවේ වොෂින්ටන්හි ද පැවැත්වෙන ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමට සමගාමීවයි. රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද අමෙරිකාව බලා පිටත්ව ගියේ ය. මුදල් අමාත්‍යවරයා ලබන 18 වැනි දා දක්වා වොෂින්ටනයේ රැඳී සිටීමට නියමිත වේ. මේ අතර දේශගුණික බලපෑම් අවම කිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව, අමෙරිකානු ඩොලර් මිලියන 1.8 ප්‍රදානයක් ලබාදී තිබේ.